Ficool

Chapter 14 - 14

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් නතර වුණ මිගාන්ගේ වාහනේ ගොඩක් වෙලා එතනම නතර වෙලා තිබුණා . වාහනේ ඇතුළේ ඉඳගෙන බිම බලන් බෑග් එකේ ඉරි ඇඳ ඇඳ හිටියා ඇරෙන්න සත්සිඳු වෙන කරපු දෙයක් නෑ. ඔහේ බලාගෙන ඉන්නේ වාහනෙන් බහින්නවත් කල්පනාවක් නැතුව වගේ.

සත්සිඳුගේ ඇස් යොමු වෙලා තියෙන්නේ බිමට. වාහනේ නවත්තලා මිගාන් බලන් ඉන්නේ සත්සිඳු දිහා. ඒත් සත්සිඳු නම් කිසිම ප්‍රතිචාරයක් නැති ගානයි.

" රෑ වෙලා නේද ? "

බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන මිගාන් ඇහුවේ සත්සිඳු දිහා බලාගෙනමයි . සත්සිඳු එක ඩිංගක්වත් මිගාන් දිහා බැලුවේ නෑ. ඒ ඇස් යොමු වෙලා තිබුණේ පොළවටමයි. බලහත්කාරයෙන් වගේ ආදරේ ඉල්ලපු තත්පරේ ඉඳන් වචනවලින් කියාගන්න බැරි විදිහේ මොකක්දෝ හැඟීමකින් සත්සිඳුගේ හිත පිරිලා ගිහින් . ඒත් එක්කම පුංචිම පුංචි බයක් හිත මතුපිටෙන් පැළපදියම් වෙලා.

" රෑ වෙයි. දැන් යන්න."

මිගාන් කිව්වේ කොල්ල දිහා බලාගෙනම . මොනා වුණත් මිගාන්ගේ හිතේ කොල්ලා ගැන තිබුණේ පුදුමාකාර අනුකම්පා සහගත හැඟීමක් . කියාගන්න දහසකුත් දේවල් හිත අස්සේ ගුලි වෙලා තිබුණමුත් කොල්ලට මිගාන් ඉස්සරහ එකම එක වචනයක්වත් කතා කරන්න බැරි තරම්. හිත කීරි ගැහෙන්නෙ ඒ හින්දමද කොහෙද?

ඇත්තෙන්ම අපේ හිත් අස්සෙ තියෙන සමහරක් දේවල් වචනවලට පෙරළන්න බැරි තැන අපි ගොළු වෙලා හිත හීරෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ නිසා අපි දුක් වෙන තරම්. දේවල් කියාගන්න බැරුව සත්සිඳුගේ හිත කීරි ගැහෙමින් තිබුණා .

එකම එක වචනයක්වත් කතා නොකර සත්සිඳු එහෙම්මම වාහනෙන් බැස්සෙ මිගාන්ගේ මූණ දිහාවත් නොබලාමයි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් ඉස්සරහට ගිහින් ශ්‍රී සුමංගල පාරට වැටුණ සත්සිඳු ඒ පාර දිගේ ඇවිදගෙන ගියේ ඉබාගාතේ හසරක් නොදැන කතරක යන මුවෙක් වගේ. කොල්ලා යන දිහා මිගාන් බලාගෙන හිටියේ බලාපොරොත්තු දල්වාගත්තු ඇස්වලින්. ඒ ඇස්වල තිබුණේ බලාපොරොත්තු විතරමයි. ඒවා අලුත් නැවුම් බලාපොරොත්තු .

සත්සිඳු මකරන්ද ඔහේ ඇවිදගෙන යනවා. ශ්‍රී සුමංගල පාර හරියට පාළුවට ගිහින් වගේ. හීනි පොදයක් යාන්තමට වැටෙමින් තිබුණා . ඇඟ යාන්තමට තෙත් කරගෙන පොද බිංදු දැවටෙනවා. සුභ නැකතක සුභ රසයක් වගේ වෙනදා විඳින පොද වැස්ස අද මේ මොහොතේ කොල්ලට දැනෙන්නේ වදකාර ගීතයක් වගේ. ඈත ගස් යාන්තමට හුළං පාරවලට සර සර හඬ නංවනවා.

කොල්ලට නිකන් ඇඬෙන්න වගේ. ඩිනෝ මිගාන් සමරදිවාකර කියපු වචන ටික කොල්ලගේ හිත අස්සෙ දෝංකාර දෙනවා වගේ. ආදරේ... ආදරේ... ආදරේ... ඒක නම් හරි පුදුමාකාර මාතෘකාවක් . දඟකාර කටට මොකක් වෙලාද මන්දා.

' අනේ ඇයි සර් එහෙම ? අනේ මට මේ මොකුත් හිතාගන්න බෑ. එක පාරටම මෙහෙම දෙයක්. අනේ...අනේ මං කොහොමද විශ්වාස කරන්නේ? මේක නිකන් හීනයක් වගේ. මට තේරෙන්නෑ මං මොකක්ද කරන්න ඕනි කියලා සර්. එක පාරටම මෙහෙම දෙයක් ඇහුවම මං මොනා කරන්නද? '

කොල්ලා බෝඩිමට ගියේ හිත එහෙම කතා දාහක් කියද්දී . හිතේ අග්ගිස්සක මිගාන් ගැන මොකක්දෝ හැඟීමක් තිබුණත් ඒක මොකක්ද කියන්න කොල්ලට තේරුමක් නෑ. ඒක හරියට සහෝදර බැඳීමක් වගේ උත්තරීතර බැඳීමක් . කොල්ලගේ හිතේ මිගාන් ගැන තියෙන්නේ ගෞරවනීය හැඟීමක්. ඒක වෙනමම දෙයක්. ඒත් එතනට ආදරේ කියන නුහුරු නුපුරුදු වචනය ඈඳාගෙන පඹගාලක පැටළිලා වගේ විඳවන්න කොල්ලට පුළුවන්කමක් නෑ. මිගාන් කියන්නේ අහසක්. වැහි පිරුණු අහසක්. ඒත් කොල්ලට දැනෙන්නෙම තමන් ලොකු කාන්තාරයක් වගේ. වැහි නැතිව වියළුනු කාන්තාරයක් වගේ. ඒ කාන්තාරයට වැස්ස අයිති නෑ. ඒ අහස දිහා බලන් ඉන්නවා ඇරෙන්න ළං වෙන්න අයිතියක් නෑ. ඒ එක්වීම කවදාවත්ම නොවෙන බව හැමදේටම කලින් කොල්ලගේ හිත කියනවා. ඒ නිසාම ඒ හිතට හරි බරයි.

මිගාන් ගෙදරට ගියේ හිතේ උතුරාගෙන යන සතුටකින්. ඒ හැඟීම පුදුමාකාර ලස්සනයි . සත්සිඳු කියන්නේ මිගාන්ගේ ලෝකයේ වෙනමම තැනක තියෙන තාරකාවක්. ඒ තරු ඇස් දිහා එක දිගට මුළු ජීවිත කාලෙම වුණත් බලන් ඉන්න පුළුවන් තරම් මිගාන්ගේ හිත ආදරණීය වෙලා . හිතේ ඇති වුණ ආදරේ කියන නුහුරු නුපුරුදු හැඟීම අහම්බෙකින් වුණත් ජීවිතේට ඇවිත් තියෙන්නේ හරිම කාලෙදී. ජීවිතේට ආදරේ බලාපොරොත්තුවෙන් හිටපු ආදරණීයම මොහොතක සුදුසුම කෙනා ගැන ඇති වුණ ඒ හැඟීම ගැන මිගාන් සතුටු වුණේ අවංක හදවතින්මයි. වාහනේ ඉස්සරහා වීදුරුවේ වැදෙන පුංචි පොද බිංදු මිගාන්ගේ ඇස් ඉස්සරහ පිට දඟ කරනවා. මිගාන්ගේ හිත හරි කලබලයි. ඒ ආදරේ හින්දමයි.

මිනිස්සු කොච්චර වාසනාවන්තයි ද? හිතේ තියෙන හැඟීම් අනන්තයක් වචනවලට පෙරළන්න පුළුවන් නම්. ඒ තරම් වාසනාවන්ත මිනිස්සු මේ ලෝකයේ කොයි කොණකවත් නැතුව ඇති. එහෙම මිනිස්සු හරියට කවිකාරයෝ වගේ.

බෝඩිමට ගිය විගසම සත්සිඳු ඇඳට වැටුණේ මුණින් අතට. කල්පනා ලෝකයේ කතන්දර කෝටියක් විතර රැඳිලා. ඒත් ඒ හැම කතන්දරයක් අස්සෙම තියෙන ප්‍රශ්න වැලට උත්තර හොයන්න ගිහින් කොල්ලගේ හිතට හරි තෙහෙට්ටුයි . හීනි පොද වැස්ස දැන් දැන් ලොකු වැස්සක් ගානට හැරෙන ගමන්. ශ්‍රී සුමංගල පාරේ ඇතුල් පාරට වෙන්න තියෙන බෝඩිමේ තනියම ඇඳට වෙලා සත්සිඳු හිතත් එක්ක ලොකු අරගලයක . පොද වැස්ස ටිකෙන් ටික ලොකු වෙනවා. ගස් සුළඟට ඇඹරි ඇඹරී නංවන සද්දේ හරි පුදුමාකාර විදිහට ඇහෙනවා. විදුලි එළි දෙක තුනක් ඈතට වෙන්න පෙණුනේ කිසිම සද්දයක් නැතුව.

' තේරුම් ගන්න සර්. අපි අහසයි පොළවයි වගේ. කවදාවත්ම කිසිම එකතු වීමක් නෑ. සර් පන්නගෙන යන්නෙ මිරිඟුවක් පස්සෙ. මං දන්නවා දඩබ්බර මිනිස්සු ගාව ආදරේ උතුරන්න තරම් තියෙනවා . ඒත් මං බයයි. සර්ට කොයි යම් වෙලාවක හරි මාව එපා වුනොත් සර් යයි. එදාට මං තනි වෙයි. ක්ලෙයාරා වගේ කෙනෙක් එක්ක සර් වගේ කෙනෙක් ජීවත් වෙන්නෙ කොහොමද කියන්න මං දන්නෑ. ඒත් සර්ගෙ හිත අවංකයි කියන්න මේ ටික දවසට මං දැන ගත්තා . ඉතින් සර් කවදාමහරි දවසක මට වඩා සිය දහස් ගුණයකින් හොඳ අවංක ආදරයක් සර්ට ලැබේවි. එදාටත් ඔය නපුරු ගැරඬි හිතෙන්ම ඒ ආදරේට ආදරේ කරන්න සර්...'

කොල්ලගේ ඇස්වල කඳුළු . කොල්ලා එහෙම්මම ඇස් පියාගත්තා . ඒත් හිතේ කොණක තියෙන හැඟීමක් කොහේදෝ ඉඳන් ඇවිත් කොල්ලට බල කරනවා. මොන මොනවදෝ කියවනවා.

' කැමති වෙයන් බූරුවෝ...කැමති වෙයන්...'

යටි හිත කියන්නේ එහෙම . ඒත් උඩු හිත කියන කතාව වෙනම කතාවක්. ඒත් යටි හිත කියන කතාව කොල්ලගේ මනස අස්සේ දෝංකාර දෙනවා. ඒ කතාවට කොල්ලගේ හිත ටිකෙන් ටික පෙරළෙන ගමන් . ඒත් අසම්මතයි කියලා ලෝකයා කියන අමුතු කතා ටික කොල්ලගේ හිත අස්සෙන් වෙනමම දෝංකාර දෙනවා.

මිගාන් ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගෙන රෑට අඳින sleeprobe එකත් ඇඳගෙන බැල්කනි එකට ගිහින් එළිය බලාගෙන හිටියා. පොද වැස්ස ලොකු වැස්සක් වෙලා . වැටෙන ලොකු වතුර බිංදුවලට ක්‍රිස්ටිනා ගස්වල කොළ තාලෙට හෙල්ලෙනවා. හරියටම කිව්වොත් වැහි ගීතයට රඟන නළඟනන් වගේ. හඳ එළියක් නම් පේන මානෙක නෑ. වැස්සත් එක්ක අහසේ මොකුත්ම පේන්නෙ නෑ. හිත් අවුස්සන හීතල මැද්දේ බැල්කනි එකට වෙලා බලන් ඉන්න මිගාන්ගේ පපුව පුරාවටම පැතිරෙන හීතල ඉල්ලන්නේ උණුහුමක් විතරමයි. හදවතත් එක්කම උණුසුම් කරවන ආදරණීය උණුහුමක් . ඒ උණුහුම තියෙන්නේ සත්සිඳු ගාව විතරක්ම බව මිගාන්ගේ හිත කියනවා. වැස්ස හරි ආඩම්බර පාටයි. ඉවක් බවක් නැතුව හරි මුරණ්ඩු විදිහට ඔහේ ඇද වැටෙනවා. හරියට තරුණ කොල්ලෙක් වගේ.

මේ වගේ සීතලම සීතල වෙලාවකට තොල ගාන්න හොඳම බීර වීදුරුවකටත් වඩා උණු කෝපි කෝප්පයක් බව මිගාන් දන්නේ අත්දැකීමෙන්මයි. හෙමින් සැරේ කිචන් එක පැත්තට ගිහින් නෙස්කැෆේ එකක් වත් කරගෙන මිගාන් ආයෙමත් බැල්කනි එකට ගොඩ වුණා . වැස්ස නම් තාමත් ඒ විදිහමයි. හරි මුරණ්ඩුයි. ඒත් ඒ අතරේ තියෙන්නෙත් හරි අමුතු රටාවක්. සීතලෙන් නලියන පපුවට ගුලි වුණු sleeprobe එකේ නිරාවරණය වුණු කොටසකින් පපුව හීතලට කීරි ගස්සනවා. ඇස් දාරවල තියෙන සතුට වැස්සක තියෙන මිහිරියාව හින්දද , එහෙමත් නැත්නම් ආදරේ කියන වචනෙට පණ දීලා අලුත් බලාපොරොත්තුවක් එක්ක බලාගෙන ඉන්න පුළුවන් වුනු එක ගැනද කියන්න මිගාන්ට හරි හැටි තේරුමක් නෑ. ඒත් උණු නෙස්කැෆේ කප් එක හීතලට හොඳ තරවටුවක් ගානයි. මිගාන් රෑ දෙගොඩ හරියෙම ගත කළේ බැල්කනි එකට වෙලා කල්පනා ලෝකයේ අතරමං වෙලා . සිසිල් පොද බිංදු ටිකෙන් ටික බැල්කනි එකත් ආක්‍රමණය කරන්න අරන්. අත දිගු කරලා ඒ පොද බිංදුවලට සිපගන්න යාන්තමට ඉඩක් දෙන ගමන් මිගාන් නෙස්කැෆේ කෝප්පයම හිස් කළා.

මීළඟ කොටසට ...

More Chapters