Ficool

Chapter 18 - 18

ඉතින් අහිංසකයෝ, අදත් අර නුග ගහ යට මං ඉන්නවද කියලා බැලුවද ? එන්න පුළුවන්කමක් තිබ්බා නම් නෑවිත් ඉන්නේ නෑ මං. දන්නවනේ මං ගැන . ඒත් ඉතින් වෙනදා හිටපු විදිහටම එන්න බැරි වෙයි. නපුරාට පොඩ්ඩක් තුවාල වෙලා.

මේක කියවලා හිතුණොත් විතරක් ඔහොම්මම ජේකබ් එක්ක එනවද ? මං බලන් ඉන්නවා.

බයවෙන්න එපා. අර නුග ගහ යටම රැජින පාරෙන් එන අහිංසකයව බලන්න මං ඉක්මනට සනීප වෙලා එන්නම් .

කොල්ලට දැනුනේ දැනුවත්ව හෝ නොදැනුවත්වම ඇස්වලට කඳුළු උනාගෙන එන හැටි. ඇස් කෙවෙනි අස්සෙන් තෙත් වෙලා පපුවේ පතුලෙම තැනක ඉඳන් පිච්චීගෙන ඇවිලීගෙන යනවා වගේ දැනෙද්දි සත්සිඳු එහෙම්මම ඇස් පියා ගත්තේ ගලන්න ඔන්න මෙන්න ආසන්න ගඟක් වගේ ඇස්වලින් වැටෙන්න වෙර දරන කඳුළු බිංදුවලට නිදහසේ කම්මුල් දිගේ රූරා වැටෙන්නට ඉඩ දෙන ගමන්. එහෙම්මම සුදු පාට කොළය අතට ගුලි වුණා .

කාත් කවුරුවත් නැති කොළඹ අහස යට තිබ්බ එකම හයිය වෙච්චි නපුරු ගැරඬියට මොකක් වුනාද කියලා හිතාගන්නවත් බැරි තැනක කොල්ල උන්නේ. ලියුම කියවලා කඳුළු සලන කොල්ලා දිහා ජේකබ් බලන් හිටියේ විමතියෙන් වගේ.

" සර්... "

ජේකබ් කතා කළේ කොල්ලගේ අවධානය බිඳින ගමන්.

හිත අස්සෙන් ඇති වුණු වේදනාව හෙමින් සැරේ මඟ හරින්න හැදුවත් කොල්ලට ජේකබ් ඉස්සරහ පිට ඒ වේදනාව නොපෙන්වා ඉන්න පුළුවන්කමක් තිබ්බෙම නෑ. ජේකබ්ගේ ඇස් මඟ හැරලා අහක බලාගත්තු සත්සිඳු ඇස්වලට ගලපු කඳුළු එහෙම්මම පිහදා ගත්තා .

" ජේකබ් නේද ඔයා? "

සත්සිඳු ඉස්සර බයවෙලා හිටියට මොකද දැන් නම් ජේකබ් ඉස්සරහ කෙලින් හිටගෙන ඉන්න පුළුවන් . කොල්ලා ජේකබ් දිහා බලන් ඉද්දී කොල්ලගේ රතු වෙච්චි ඇස් දිහා ජේකබ් බලන් හිටියේ පුදුමෙන් වගේ.

" ඔව් සර්... මං ජේකබ්..."

ජේකබ් උත්තර දුන්නා .

" සර් කොයි hospital එකේද ඉන්නේ? "

" private එකක සර්..."

" මොකේද? "

" Durdans hospital එකේ සර්... "

ජේකබ් කොල්ලා දිහා බලාගෙනම උත්තර දුන්නා .

" ජේකබ්... "

" සර්... "

" මාව සර් බලන්න එක්කන් යන්න පුළුවන්ද ? "

සත්සිඳු ජේකබ් දිහා බලන් ඇහුවේ ආයාචනාත්මක බැල්මක් එක්ක. ඒ බැල්මත් එක්ක ජේකබ්ගේ හිතත් කොච්චර දරුණු දරදඬු එකක් වුණත් තත්පරේට දෙකට උණු වෙන්න ගත්තා .

" යමු සර්.. නගින්න.. "

ජීෆ් එකේ පිටිපස්සෙන් දොර ඇරලා දෙන ගමන් ජේකබ් කොල්ලට කිව්වා. සත්සිඳු වාහනේට නැඟලා ජේකබ් එක්ක මං මාවත් ගෙවාගෙන ආවේ Durdans Hospital එකට.

Hospital එකේදි ජේකබ් එක්කම ජේකබ්ගේ පිටිපස්සෙන් වැටුණ කොල්ලා ගියේ ටිකක් බයෙන් බයෙන් වගේ. මොකද ලෝකෙට පේන්න තිබුණ වැදගත් පෙනුම ඇත්තෙන්ම වැදගත් නොවන බව දන්නේ එයාම විතරක් හින්දා.

ගාල්ල පැත්තේ ධීවර ගම්මානයක වැල්ලෙ ජීවත් වෙච්චි සත්සිඳුට මේවා නිකන් අරුම වගේ. හදිස්සියෙන් හරි ලෙඩක් දුකක් ආව ගමන් රජයේ රෝහලට දුවගෙන යන කොල්ලා ඒ දවස්වල ගියෙත් කිරි අම්මා එක්ක අතේ එල්ලිලා. එහෙව් එකේ මෙච්චර ලොකු රෝහලක් අස්සෙ යද්දි කොල්ලගෙ අහිංසක හිතට චකිතයක් දැනෙන එක සාධාරණයි .

ජේකබ් එක්කම ලිෆ්ට් එකට ගොඩ වුණ සත්සිඳු ජේකබ් පිටිපස්සෙන්ම වැටුණා . කොච්චර කොළඹ පරිසරයට හැඩ ගැහුණත් මොකද කොල්ලට නම් දැනුනෙම අරුම පුදුම ලෝකයක් මැද්දට පිවිසුණා වගේ හැඟීමක් .

ජේකබ්ගේ පිටිපස්සෙන් ගිහින් කොල්ලා ආවෙ ටිකක් ලොකු කාමරේකට. බැලූ බැල්මට නම් ඒක සැප පහසු කාමරයක්. කොල්ලා වට පිට බලන්නත් ඉස්සර බැලුවේ උස ඇඳ දිහා. කොල්ලගෙ ඇස්වලට කඳුළු එන්න වුණේ තත්පරේට දෙකට.

" සර්... "

සත්සිඳු එහෙම්මම මිමිණුවා .

" සත්සිඳු... "

ඇඳ උඩට වෙලා පැලැස්තර අලවන් හිටපු නපුරු ගැරඬියත් කොල්ලව දැකලා මූණේ හිනාවක් පුරවගන්න ගමන් මිමිණුවා .

සත්සිඳු හෙමින් හෙමින් අඩි තිය තියා ඇඳ ගාවට ළං වුණේ මිගාන්ගේ මූණ දිහා බලාගෙනමයි . ඒ ඇස්වල , ඒ මූණේ තිබුණ ගාම්භීර පෙනුම නම් තවමත් එහෙම්මමයි .

නළලේ ගහලා තිබුණු ලොකු plaster එක, වම් අත බැන්ඩේජ් කරලා තිබුණ විදිහ, දකුණු කකුලේ දණහිසට යටින් බැන්ඩේජ් කරලා තිබුණ විදිහ දකිද්දි කොල්ලගේ හිත වාවන්නෙ නෑ . පපුව කොණකින් පටන් ගන්න ඇවිලිල්ල ගෑස් හැදුනටත් වඩා වේදනාවක් දෙන ගමන් කොල්ලගේ ඇස්වලට ආයෙමත් කඳුළු අරන් ආවා.

" අනේ සර්.. මොකක්ද මේ වුණේ ? "

සත්සිඳු ඇහුවේ ගොත ගහ ගහා .

" Accident වුණා ඉතින්... "

" අනේ.. අනේ සර්.. එතකොට අර.. එදායින් පස්සෙ ආවෙ නැත්තේ මේ හින්දද? "

සත්සිඳු ඇහුවේ ඇස් කඳුළුවලින් පුරවගෙන .

" දැන් ඒක වෙලා ඉවරයිනේ.. ම්... ඒක අමතක කරන්න.. කොහොම හරි ඔයා මාව බලන්න ආවනේ.. නේද ? ඉතින්, මට ඒ ඇති... "

මිගාන් කිව්වේ කිසිම අවුලක් නැති ගානට.

" අනේ සර්.. අනේ ඉතින්.. ඒ වුණාට මට හරි දුකයි.. මං හින්දනේ මේක වුණේ.. "

"ආ.... කවුද දැන් එහෙම කිව්වේ? මට වෙච්චි දේට ඔයාගෙ කිසිම සම්බන්ධයක් නෑ.. හරිද? "

" අනේ සර්.. මට දුකයි ඉතින්.. "

සත්සිඳු හෙමින් සැරේ මිගාන්ගේ ඔළුව අතගාන්න වුණේ හරිම පරිස්සමින් . කොල්ලගෙ ඇස් බැන්ඩේජ් කරපු අතයි, කකුලයි ගාව නැවතුණා . සත්සිඳුගේ හිත මහා වේදනාවකින් බර වෙලා . ඒක දරාගන්න බැරි වේදනාවක් .

නපුරු ගැරඬියට මේ දේ සිද්ධ වුණේ මං නිසා නේද කියන වරදකාරී හැඟීමත් එක්ක කොල්ලගෙ හිත එක්තැන් වෙලා . ඉතින් ඒ බර වේදනාව කොල්ලගේ හිතට කොහෙත්ම දරාගන්න බෑ.

" ගොඩක් රිදෙනවද සර්? "

සත්සිඳු ඇහුවේ බිඳුණු කටහඬකින් මිගාන්ගේ ඔළුව යාන්තමට පරිස්සමින් අතගාන ගමන්. ඇස්වලට ආපු කඳුළු බිංදුවක් කම්මුලක් දිගේ රූරාගෙන ඇවිත් වැටිලා ගියා.

" එච්චරම නෑ... "

මිගාන් ඒ මූණ දිහා බලාගෙනම උන්නා. මිගාන් වුණත් ඒ අහිංසක ඇස් ඉස්සරහ පිට පුදුමාකාර විදිහට මෙල්ල වෙනවා. ඒ අහිංසක ඇස් දෙක රෑ තිස්සේ නපුරු ගැරඬියගේ හිත අස්සෙ සෙල්ලම් කරනවා. ඉතින් මිගාන් හැම මොහොතකම ප්‍රාර්ථනා කරපු ඒ ඇස් දෙක දැන් කොල්ලගේ ඔළුව අතගාන ගමන් තමන් දිහා බලන් ඉන්නවා.

ජීවිතේ පළවෙනි වතාවට මොකක්දෝ හුරුපුරුදු බවක් එක්ක සමීප බවක් දැනෙද්දි හිත පතුලෙම තිබ්බ ආදරේ නලියන්න ගන්නෙ මිගාන්ටත් නොදැනිමයි. මිගාන් හරි ආදරෙන් කොල්ලගේ ඇස් දිහා බලන් හිටියේ ඒ ඇස් හරි පුදුමාකාර භාවනාවක් වගේ දැනෙන්න ගත්තු ඇසිල්ලෙමයි.

" ඇයි ඉතින් අඬන්නේ? ම්.. අඬන්න ඔට්ටු නෑ හරිද? "

මිගාන් එහෙම්මම සත්සිඳුගේ ඇස්වලින් ලොකුම ලොකු කඳුළු බිංදු වැටෙනවත් එක්කම වගේ අමාරුවෙන් වුණත් දකුණු අතෙන් පිහදාලා යාන්තමට හිනා වුණා . ඒ හිනාවත් හරි අහිංසක පාටයි.

ඔව්, කොයි තරම් නපුරෙක් වුණත් ඒ හිනාව හරි අහිංසක පාටයි. සත්සිඳුගේ හිත වශී වෙන්නෙම ඒ හිනාවට. එක් මොහොතක කොල්ලගේ ලා දෙතොල් එක්ක පැටළුනු මේ රළු දෙතොල් අද හරි ලස්සනයි .

රැවුල ටිකක් වැඩිපුර වැවිලා. වැඩිපුර කිව්වට වැඩියෙන්ම නෙවෙයි ලාවට ටිකක්. සත්සිඳුගේ අතක ඇඟිලි ලාවට යාන්තමට වගේ මිගාන්ගේ කෙහෙ රැළි අතර එහෙ මෙහෙ දුවනවා. ඒ පහස මිගාන්ට හරි සනීපයි. සුවදායකයි.

ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක් කොල්ලගේ ඔළුව අතගාන්නේ. මේ විදිහට කෙනෙක් ඔළුව අතගාපු අතීතයක් ගැන මතකයක් නම් මිගාන්ගේ මතක පොතේ පෙරවදනකවත් , පසුවදනකවත් නැති තරම්.

" මහන්සි නැද්ද ? "

" චුට්ටක් විතර... "

මිගාන් අහපු ප්‍රශ්නෙට සත්සිඳු උත්තර දුන්නේ හරි අහිංසක විදිහට . නපුරු ගැරඬියගේ එඩිතර හිත හොල්ලන්නෙම ඉතින් මේ අහිංසකකමම තමයි.

" අටටත් කිට්ටුයි... යන්න කල්පනාවක් නැද්ද ? "

මිගාන් ඇහුවේ ළඟට වෙලා ඔළුව අත ගගා ඉන්න කොල්ලා දිහා යාන්තමට හිනා වෙලා බලාගෙන . එයාට නම් වෙලාව ගැන ගාණක් නැති තරම්. හිත කියන්නෙම මුළු රෑ තිස්සෙම වුණත් ඒ ඔළුව අත ගගා නපුරු ගැරඬියගේ ළඟටම වෙලා ඉන්න කියලා . ඒත් ඉතින් ඒකට අවසර නෑනේ.

" තව චුට්ටකින් යන්නම්... "

" ඇයි? "

" දුකයි... "

හරිම කෙටි ප්‍රශ්න ටිකකට හරිම පුංචි සරල උත්තර ටිකක් .

" දුක මොකද ? "

මිගාන් ඇහුවේ ආයෙමත් ඒ අහිංසක ඇස් දිහා සෘජුවම බලාගෙන .

" දන්නෑ... "

" ඇත්තෙන්ම ? "

" හ්ම්... "

කොල්ලා යාන්තමට මිමිණුවා .

ජේකබ් හිටියේ එළියට ගිහින්. ඒ කාමරේ ඇතුළේ නපුරු ගැරඬියයි , අහිංසක කටකාරයයි විතරමයි .

" ඇයි එදා මාව මඟ ඇරලා ගියේ? "

නිදහස් ඇසිල්ලක එහෙම්මම තමන්ගේ දකුණු අතින් සත්සිඳුගේ අතකින් අල්ලගන්න ගමන්ම ඒ අහිංසක ඇස් දිහා හරි ආදරණීය බැල්මක් හෙලන ගමන් මිගාන් ඇහුවා. කොල්ලට කට උත්තර නැති වුණු ප්‍රශ්නයත් එක්ක එහෙම්මම බිම බලාගත්තට මොකද අර දරදඬු අත තවමත් අහිංසකයගේ අතත් එක්ක පැටලිලා.

" ඇයි මොකුත් කියන්නෙ නැත්තේ? ඒ තරමටම මාව අප්‍රසන්නද? "

" අනේ සර්.. එහෙම දෙයක් නෑ..."

බිමට හැරවුණු ඇස් ආයෙමත් නපුරා දිහාවට යොමු කරන ගමන් සත්සිඳු උත්තර දුන්නා .

" එහෙනම් ? "

" මං දන්නෑ සර්... "

" මගෙ ආදරේ දැනෙන්නැද්ද දරුවෝ? "

ඒ වචන ටික වචන ටිකක් විතරක් වුනාට ඒවයින් පිච්චුනේ කොල්ලගේ මුළු හදවතම. ' මගෙ ආදරේ දැනෙන්නැද්ද දරුවෝ? ' ඒ වචන ටික හිත අස්සෙ ලත් ක්ෂණයකින් දෝංකාර දෙද්දි ආයෙමත් ඇස් බිමට හරවගත්තේ ඒ ඇස්වල ආදරණීය බැල්ම දරාගන්න අමාරු හින්දමයි.

" සර්..ම..මට පරක්කුයි.. මං..මං යන්නද? "

" මේ ඉක්මනට පරක්කු වුණාද? ම්..."

මිගාන් ඇහුව ප්‍රශ්නය ආයෙමත් කොල්ලව ගොළු කළා.

" මගෙ ඇස් ඔය ඇස් එක්ක පැටළෙන්න හදන හැම තත්පරේකම මේ ඇස් මඟ අරින්න එපා සත්සිඳු.. මට තියෙන්නෙත් හිතක්.. ලෝකෙට කොච්චර නපුරු, දරුණු මිනිහෙක් වුණත් මේ හිත අස්සෙත් ආදරේ , වේදනාව තියෙනවා.. ඉතින් එකම එක වතාවක්වත් මං දිහා ආදරෙන් බලන්න. නැත්නම් මේව උහුලගන්න බැරුවම මං මැරිලා යාවි... "

මිගාන් කිව්ව දේවල් අර පෑරිච්චි හිත ආයෙ ආයෙමත් පාරද්දි තවත් එක මොහොතක් හෝ ඒ ඇඳ ගාව කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුළුවන්කමක් නම් කොල්ලට තිබුණේ නෑ.

ඒත් එක්කම ජේකබ් ඇතුළට ආවෙ කෑම වගයකුත් අරගෙන . සත්සිඳු එහෙම්මම මිගාන් තද කරලා අල්ලගෙන හිටපු අත රළු අතෙන් මුදව ගත්තේ ජේකබ්ට නොපෙනෙන්න වගේ. ඒත් ඉතින් ඒ දේ නොපෙනෙන්න තරම් ජේකබ්ගේ ඇස් නොදියුණු නෑ. ජේකබ් දැක්කත් නොදැක්කා වගේ ඉන්න පලපුරුද්ද පාවිච්චි කරලා එහෙම්මම අහක බලාගත්තේ අරන් ආව කෑම එකයි, වතුර එකයි පැත්තකින් තියන ගමන්.

" සර්, ම..මට පරක්කු වෙනවා.. මං..මං යන්නද? "

සත්සිඳු ඇහුවේ ගොත ගගහා වගේ.

" මේ රෑ වෙලා තනියෙන් යන්න බෑනේ..ජේකබ්...."

මිගාන් කතා කළේ පැත්තකට වෙලා හිටපු ජේකබ්ට .

" සර්... "

ජේකබ් කතා කරලා තත්පරයක් යන්නත් ඉස්සර එහෙම්මම නපුරු ගැරඬියගේ ඉස්සරහට ආවේ මායාකාරී පියාඹන පීරිසියකින් ගොඩ බැස්ස පිටසක්වළ ජීවියෙක් වගේ වේගයකින්.

" මෙයාව පන්නිපිටියට ගිහින් දාපන්.. පුළුවන් නම් බෝඩිමටම දාපන්.. මෙයා කැමති නම් විතරක්.. "

" හරි සර්... "

ජේකබ් උත්තර දීලා පැත්තකට වුණා . ආයෙමත් මිගාන් බැලුවේ සත්සිඳු දිහා. තාමත් ඒ ඇස් බිම බලා ගත් ගමන්මයි .

" දැන් යන්න සත්සිඳු... මහන්සි පාටයි ඔයාට... "

ඒත් කොල්ලා නම් එකම එක වචනයක්වත් කතා කළේ නෑ. ක්ෂණයකින් එසවුණු හිස නපුරු ගැරඬියා දිහාවට හරවගෙන ඒ ඇස්වලින් අහිංසක විදිහට මිනිත්තුවක් විතර පහු වෙනකන් ඇහිපිල්ලමක්වත් නොගහා බලන් හිටිය කොල්ලා මිමිණුවේ යාන්තමට වචන හතරක් විතරයි .

" මං ගිහින් එන්නම් සර්... "

මිගාන් වුණත් ඒ අහිංසක වචන ඉස්සරහ උණු වෙන්නේ හරි පුදුමාකාර විදිහට .

" පරිස්සමින්... බුදු සරණයි... "

ඒ නපුරු හිතෙන් එහෙම ආශිර්වාදයක් කළාමද කොහෙද.. නැත්නම් ඉතින් මිනී මරන්නයි, drug බිස්නස් කරන්නයි, club අස්සෙ රඟන්නයි ඇරෙන්න ඔය හිත පාවිච්චි කරපු තවත් දෙයක් නැති තරම්නේ.

ඒත් ඉතින් එකම එක අහිංසක බැල්මකට මොනාද කරන්න බැරි කියලා ඒ හිතත් ඒ හිතෙන්ම විමසනවා. ඔව්, අහිංසක බැල්මන් හරි වසයි. විසේකාරයි. නාහෙට අහන්නෙ නැති විසේකාර හිතුවක්කාරයෙක් වුණත් එකම එක අහිංසක බැල්මකින් උඩු යටිකුරු කරන්න පුළුවන් .

ඒ හිතට වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි. මතක් වෙන මතක් වෙන මොහොතක් ගානේ සාමාන්‍ය හෘද ස්පන්දන වේගයත් ඉක්මවලා ගිහින් හරිම අමුතු පුදුමාකාර වේගයකින් හදවත ගැහෙන්න ගන්නේ මේ අහිංසක ඇස් නිසා නෙවෙයිද ? නැත්තෙ මොකද, ඒ ඇස් හින්දා තමයි.

" සර්ත් පරිස්සමින් ඉන්න. ඉක්මනට සනීප වෙන්න. බුදු සරණයි.. "

ආයෙමත් එක පාරක් නපුරු ගැරඬියගේ කෙහෙ රැළි අතරේ දෙතුන් වතාවක් ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරන ගමන් සත්සිඳු යාන්තමට වගේ කොඳුරන්න වුණා . යාන්තමට අඩවන් කරපු ඇස් පියන් එක්ක මූණේ පුරවගත්තු පුංචි හිනාවත් එක්ක ඔළුව වනන ගමන් නිර්වාචික උත්තරයක් දුන්නේ හා කියන්න වගේ.

ජේකබ් එක්ක සත්සිඳු මිගාන් හිටපු කාමරෙන් පිටවෙන්න මොහොතකට ඉස්සර ආයෙමත් වතාවක් දොර ඉස්සරහදි හැරිලා බැලුවේ හිතේ යන්න තරම් වුවමනාවක් නැති ගානට.

ඒත් ඉතින් රැඳෙන්න අවසරයක් නැති තැන්වල රැඳෙන්න ඒ හිතේ බලාපොරොත්තුවක් නෑ. සත්සිඳු ඒ හින්දම යාන්තමට හිනා වෙලා කාමරෙන් පිටවෙලා යන ගමන් ඇස් කොණකට උනපු පුංචි කඳුළු බිංදුවක් සුළැඟිල්ලේ අගින් පිස දැම්මේ මහා වේදනාවක් , මහා වරදකාරී හැඟීමක් ඔළුව උඩ තියන් . හරියට නිකන් ධාතු කරඬුවක් හිස තියාගෙන වඩම්මන ගානට ඒ බර තියාගෙනම රෝහලෙන් එළියට ආවේ හිත පෙරැත්ත කරන නිසා මිස කැමැත්තකින් නම් නෙවෙයි .

මීළඟ කොටසට ...

More Chapters