Ficool

Chapter 4 - 04

මං උඹට කිව්වා රෙහාන් ..කොහෙද අම්මා අප්පගෙ කීමට පිටින් කර ගහගන්න මගුල් කරගත්තම ඔහොම තමයි...අර එකෙකුත් ඉන්නෙ...ඒ ගොනාවත් අපි බේරුව හන්දා හොදයි නැත්තන් ...

දෙයියන්ගෙ නාමෙන්....අම්මෙ වදින්නම් කට පියාගන්ඩ මගෙ ඔලුව තව අවුල් කරන්ඩ එපා...අර ගෑනිගෙ මූන බලන්ඩ හයියක් නැතුව මම ඉන්නෙ.....මාව තව කන්ඩ එපා තව විකාර කියවලා.....

ඔලුව ...ඔලුව නෙවෙ දැන් ඉතින් කන්ඩ වෙලා තියෙන්නෙ....අවුරුදු කීයකට පස්සෙද ....ඒකවත් පරිස්සම් කරගන්ඩ බෑ ...ඒකිගෙයි අර ගෙනාව එකාගෙයි මූසල කම තමා....ඉදලා ඉදලා උස්සන් ඇවිත් තියෙන්නෙ ගොතයෙක්...උඹ මොකක්ද හරියට කෙරුවෙ කියපන්...ආ රෙහාන්.....

ගොතයා...ගොතයා උනත් ඒ ඉන්නෙ මගෙ දරුවා ...අම්මෙ තාත්තෙ කියන්ඩ ඌ හරි උන්න හන්දා මං මෙහෙම හරි ඉන්නෙ....නැත්තන් අම්මලා වගෙ ගෑනු හන්දා මටවත් අර ගෑනිටවත් එලි බහින්ඩ වෙන්නෙ නෑ...

මගෙ පුතා...අපි ගමනක් යමුද .....

බ්බ්බ්...බ්බ්බ්....බ්බ්බ්...බ්බා...බ්බා...බා...

මට කතා කරගන්න බැරි උනා....කියන දේවල් වල හරි තේරුම මොකක්ද නොදන්නවා උනත් සමහර දේවල් අහන් උන්න මට කතා කරගන්න බැරි උනා...අම්මගෙ මල්ලි බබාව හොරු අරන් ගිහින් කියලා ලොක්කම්මා තාත්තට දොස් කිව්වා...තාත්තට විතරක් නෙවෙ...ලොක්කම්මා යෙවීන්‍ටත් ගොතයා කියලා බැන්නා....තව හුගාක් දේවල් කියන්න ඇති....ඒ උනත් සුදු බාප්පා මගෙ කන් දෙක එයාගෙ අත් දෙකෙන් තද කරලා වග ගත්තා....අරුනි අක්කා ඇවිත් අම්මගෙ මල්ලි බබා නැති වෙල කියලා කියනකොට මාවත් ඇදන් දුවන් ආව සුදු බාප්පා කොරිඩෝ එකෙ නැවතුනේම ලොක්කම්මව වගේම තාත්තව දැකලා වෙද්දි මෙතනින් එහාට එයා ආයම මාව එක්කන් නොගිහින් උන්නා....

සුදු බාප්පි ඔයා යනවද ..

ඔව්...උඹ කියන්නෙ මේ ලමයවත් අරන් එතනට යන්ඩ කියලද...තැනක් නෑ නොතැනක් නෑ ඔහේ කියවනවා..මිනිස්සු ඉන්නෙ.මොන තත්වෙද බලන්නෙ නෑ...උඹටයි...උඹගෙ අම්මටයි...ලොකු අම්මටයි දෙයියො වැරදිලා කටවල් මවලා තියෙන්නෙ.....

මාව අතින් අල්ල උන්න සුදු බාප්පග් මූන දිහා මම කදුලු පුරවන් බලන් උන්නා..අපේ තාත්තා වගේ නෙවෙ..සුදු බාප්පා ලොක්කම්මට චුට්ටම චුට්ටක් වත් බය නෑ....එයත් රට ඉදන් නෙ ආවෙ...රට ඉදලා එන මිනිස්සු නම් කාටත් බය නෑ අප්පා....එහෙම වෙන්න එපැයිනෙ....රට තියෙන්නෙ අහසෙන් උඩනෙ ....

(නෙහාන් ප්‍රනාන්දුපුල්ලෙ වයස 34)

යෙවීන් එන්න අපි යමු....

බ්බා...බ්..බා...ප්පෙ...අම්මා...අම්...මා...ම...ල්ලි...බබා...

මම ගොත ගැහුවා...මොකද මගෙ ජීවිතෙන් මට වැඩියෙම්ම කරන්න පුලුවන් ඕක.....මට ගොත ගහනව ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ...මට කියන්න ඕනා උනෙ ලොක්කම්මා කොච්චර බැන්නත් කමක් නෑ මාව එක්කන් යන්න කියලා...ඒත් මම කොහොමද එක පාර බස බස ගාලා ඔච්චර වචන ගොඩක් එලියට දාගන්නෙ...

අනේ මට අම්මගෙන් අහන්න හුගාක් දේවල් තිබුනා.....මට මල්ලි බබාට දෙන්න රත්තරන් පාට ටොපි කොල සමනලයෙක් උන්නා....අම්මගෙන් මල්ලි බබාව අරන් යනකොට අම්මා දැක්කෙ නැද්ද අහන්න ඕනා...අඩුම ගානෙ ඇද යටවත් වැටිලද...නැත්තන් ආව හොරා මල්ලි බබාව අල්මාරියක වත් හංගලද කියලා අහන්න ඕනා..හරියටම ලොක්කම්මා මගෙ සෙල්ලම් බඩු අල්මාරියෙ හංගනවා වගේ...

අපරාදෙ හොරාට තිබුනෙ ලොක්කම්මව අරන් යන්න....එයා හරි නපුරුයි....බාබයිගා යකින්න වත් එච්චර නපුරු නැතුව ඇති අපේ අම්මයි තාත්තයි නැති තැන මට ගොතයා කියලා මූනටම කියනවනෙ...යෙවීන්ට කොච්චර පව්ද නේද ...?එහෙම කියන්න හොද නෑනෙ ජේසු උනත් කියනවනෙ හිත රිදවන්න එපා කියලා .....සුදු බාප්පා කිව්වත් වගෙ ජේසු කරුනාව බෙදන වෙලේ ලොක්කම්මා එදත් කා එක්ක හරි ඇමිනි ඇමිනි ඉන්න ඇති....ඒ උනාට නම නම් කරුනාවතී රාජකරුනා....දෙපැත්තෙම කරුනාව තිබ්බට ලොක්කම්මා ගාව එහෙම නෑ හරි නපුරුයි අප්පා....

මම ඇස් වලට උනපු කදුලු ඇස්වලම තියෙන්න ඇරලා සුදු බාප්පා කියපු "ගමන " එන්න හැරුනා . නොකියා උන්නට ලොක්කම්මා තාත්තටයි අම්මටයි මටයි බැන්නෙ ලොකු දේකට වෙන්න ඇති කියලා හිතෙනකොට මම සමහර වචන වල තේරුම හොයන්න හැදුවා .....

යෙවීන් ඔහොම ඉන්න බාප්පා කෝල් එකක් අරගන්නකන්....

සුදු බාප්පා මාව එලියටම එක්ක ආවා...ඇවිදින් කෝල් එකක් ගන්නකන් ඔහොම ඉන්න කියලා මෙච්චර වෙලාම අල්ලන් උන්න අත අතාරිනකොට මම මගෙ අල්ල හිර වෙලා උන්න නලුවා මාමා දුන්න ටොපියෙ කොලෙන් හදපු රත්තරන් පාට සමනලා දිහා බැලුවා 

ස්ස්....සමන්න් ..නලයෝ...ම්ම්..මල්ලි...බ්බ්...බබාව....අර්...ර්...රන්...ගිහින්.....

මම සමනලයට රහසක් කිව්වා.....මල්ලි බබාව අරන් ගිහින් කියලා මම හොරාවට සමනලයට කෙදිරුවා ..... එයාට පන තිබ්නා නම්...සමහර විට මගෙ මල්ලි බබා කොහෙද ඉන්නෙ කියලා එයාට වත් හියා ගන්න තිබුනා...ඒත් ඉතින් එයාටත් පන නෑනෙ...

හෙලො.....මචන් ...උඹ කොහෙද ඉන්නෙ.....ගෙදරද .. නැත්තන් .....

....

නෑ මේ අයියගෙ වයිෆ්ට අමාරු උනා.....මං කොල්ලා එක්ක ඉන්නෙ...උඹ ගෙදර ඉන්නවද බැලුවෙ එන්න ....

මම අහන් උන්නා...සුදු බාප්පා කාට හරි කතා කෙරුවා ..එයා කිව්වා ගෙදර එන්නලු බැලුවෙ කියලා ...ඒකියන්නෙ ගමන තියෙන්නෙ එහේ ....ඒත් ඉතින් මම තවම දහම් පාසල් සූට් එක පිටින් නෙ...ගමනක් යනකොට ලස්සනට යන්න එපැයිනෙ....ලස්සන සූට් එකක් ඇදලා...කොන්ඩෙ පැත්තට පීරලා....ක්‍රීම් එහෙම ගාලානෙ යන්න ඕනා....නැත්තන් බෑනෙ.... 

මම සුදු බාප්පා දිහා බැලුවා...එයා නම් අව් කන්නාඩි දෙකකුත් දාගත්තා ....යෙවීන්ට තමා මොකුත් නැත්තෙ....සුදු බාප්පත් හරි ඉස්ටයිල් අප්පා.....අර අමේලිගෙ නලුවා මාමා වගේ තමා...බලන්න ඕනා..ගෙ ඇතුලටත් සෙරෙප්පු දානවා.....එතකොට නම් ලොක්කම්මා බයිනවා ගේ ඇතුලටත් සෙරෙප්පු දාන්නෙ උඹේ කකුල් කොර වෙලාද අහනවා...නැත්තන් උඹට වැලි පෑගෙන්න බැරිද අහනවා...ඒ උනාට අපේ අම්මායි තාත්තයි නම් මම මඩ පිටින් ආවත් මොකුත් කියන්නෙ නෑ අප්පා.....හරි හොදයි ..

යෙවීන්.....ඔයාට බඩගිනි නැද්ද බාප්පට බඩගිනී.....

සුදු බාප්පා ආයම මගෙ දිහා බැලුවා..බලලා මගෙ හොටු ලේන්සුව ගලවලා සාක්කුවෙ දාගන එයා ගාව තියන සුවද ගහන කොලේකින් මූන පිහදැම්මා...පිහදාලා මගෙ කොන්ඩෙත් හැදුවා...මට බඩ ගිනි නෑ...මොකද අමෙලි මට චොකලට් ගාපු පාන් ගොඩක් දුන්නා....අනික වෙනදා වගේ ළමයි කෑම එක ඉදිරුවෙත් නැති හන්දා මගෙ බනිස් ගෙඩියෙන් බාගයක් තිබ්බා...

න්න්...නෑනෙ ...

ආ බොල බඩ ඇතුලෙ ගල්ද තියෙන්නෙ. ..අහන අහන පාර නෑ ගාන්නෙ....ඔහොම නම් බෑ...හොදට කාලා බාප්පා වගෙ ලොකු වෙන්ඩ ඕනා..ලොකු වෙලා බනින ඔක්කොටම ගහපන් මැරිලා වැටෙන්ඩ ...තේරුනානෙ....උඩ පැනලා පයින් එකක් ගහන්ඩ ඕනා කැරකිලා වැටෙන්ඩ.....

මට හිනා ගියා ...උඩු දත් ඇන්දෙ ඉස්සරහම දතත් වැටිලා තිබුන මට හිනා යනකොට කෙල චුට්ටකුත් විසික් වෙද්දි මං අතින් කට වහගත්තා ...අපෙ සුදු බාප්පා නම් හරි හොදයි අප්පා...එයා නම් යෙවීන්ට බනින ඔක්කෝටම අල්ලන් බනිනවා අරුනි අක්කගෙ අම්මා අපෙ තාත්තගෙ අක්කනෙ ..අපෙ නැන්දනෙ...එයාගෙ මූනටම බනිනවනෙ ලොකු අම්මගෙ මුට්ටිය කියලා ...

එන්ඩ පාර පනින්ඩ...තාත්තට වෑන් එක ඕනානෙ...අපි.දෙන්නා ත්‍රීවිල් එකක යමු....

ම්ම්ම්....හ්හ්..හා...

මම සුදු බාප්පගෙ අත අල්ල ගත්තෙ නෑ..හැබැයි එයා නම් මගෙ අත අල්ල ගත්තා ...අල්ලගන පාර පැන්නා.....

අය්යෙ ලුණුවිලට....

එයා මාවත් එක්ක ත්‍රීවිල් එකට නැගලා ලුනුවිලට කියනකොට මම ඔලුවත් කස කස සීට් එකට වෙලා ඉදගත්තා ....දැන් ඉතින් තියෙන්නෙ යන්න...

අද ඉරිදා...මහපාරෙ උදෙ වරුව විතරයි මෙච්චර වාහන....දවල් වරුවෙන් පස්සෙ වාහන අඩු වෙනවා .....දැන් දවල් වරුව....ඒ හන්දා පාරෙ වාහන අඩුයි.... මිනිස්සු ඉරිදා නිවාඩුනෙ...

මම ත්‍රීවිල් එකෙන් එලියට ඇස් දෙක දාගන බලන් උන්නා...වහන් උන්න තොල් දෙක ඈත් කරලා එන හුලන් පාරට දත් ටික ඇල්ලුවා....වැටිලා තිබුන දත හන්දා කට ඇතුලට හුලන් වදිනකොට මගෙ.තොල කටත් එක්ක වේලිලා ගියා වගේම හුලන් පාරට මට නින්ද යන්න ආව හින්දා මම සුදු බාප්පගෙ අතට හේත්තු උනා 

.දොයියන්ඩ නම් එපා...උඹට නින්ද ගියහම කවා ගන්ඩ බෑ....

ඒ අපේ බාප්පගෙ හැටි ..උඹ කියලා කිව්වට එයා හරි ආදරෙයි....අපෙ ලොක්කම්මා උඹ කියලා කියන්නෙ නම් හිත රිදෙන්නමයි...ඒ කොහොම උනත්...අපේ තාත්තගෙ පැත්තෙ ඉන්න උන් හරි නපුරුයි ....සුදු බාප්පා විතරයි හොද....එයාලා ආවම මාව මැදට අරගන සින්දුවක් කියන්න කියනවා...සින්දුව කියනකොට මම ගොත ගහන වාරයක් වාරයක් ගානෙම උන් මට හිනා වෙනවා . බැක්...බැක්..බැක්...ගානවා...මම කියන වචන අල්ලන් ඇද කරනවා.....මං ආස නෑ.....කොච්චර හිත රිදෙනවද ....

වෙලාවකට මට හිතෙනවා උගුරට ඇගිල්ල දාලා වමනෙ කරලා බලන්නත්....එතකොටවත් ගිලුන දිව ආපහු එලියට එයිද බලන්න.....අනේ එහෙම උනෝතින් මටත් කතා කරන්න පුලුවන් වෙයි ....එකම අකුර ගාව සෑහෙන වෙලා ඉන්න ඕන් නෑ....යෙ යෙ යෙවින් නොකියා යෙවීන් කියයි.....කොටිම්ම ලොක්කම්මත් ආදරෙ වෙයි....එයා යෙවීන්ට ආදරෙ නැත්තෙ යෙවීන් ගොත ගහන හින්දනෙ....

බ්බ්...බා...ප්පේ.....

ම්ම්ම්...ඇයි...

යෙ...යෙ..යෙව්...වීන්.....

ඉතින්....යෙවීන් මොකද....

ක්ක්..කතා...කෙරුවොත්...ල්ල්..ලොක්...කම්ම්...මා...බනින...එකක්...න්න්..නෑනේද.....?

.......

ය්ය්..යෙ...වීන්.....එක්කෝ....ව්ව්...වමනේ....ද්ද්....දාන්ඩ...ද...එ...එ...ත්...තකොට....දිව....එ..ල්ල්....ලියට එනව..නෙ...

මං හුස්ම ගත්තා ..හැබැයි බාප්පගෙ ඇස් වලට කදුලු පිරුනා ...එතනින් එහා එයා මගෙන් මොකුත් අහනවා තියා මා දිහා බැලුවෙට් නෑ....එයා එලිය බලාගන උන්නා...මං ශීට් එකට හේත්තු උනා ....එක සමහර විට හරියන් නැති දෙයක් වෙන්න ඇති....නැත්තන් බාප්පා හා කියනවනෙ....දිව එලියට ආවා නම් මේ මොකුත් නෑනෙ.... මං ආයම මගෙ රත්තරන් පාට සමනලය දිහා බලාගම ඔහේ ඉන්නකොට ත්‍රීවිල් එක නැවැත්තුවා

යෙවීන්....එන්න බහිමු ....

මෙච්චර වෙලාම අහක බලන් උන්න බාප්පා බහිමු කිව්වා...මං උන්නෙ ඒ වෙනකනුත් සමනලා දිහා බලාගන වෙද්දි එලියට ආව මම වට පිට බැලුවා ....

කලුම කලු පාට අහස තරම් උසට ගේට්ටුවක් ගාව අපි හිටන් උන්නා ත්‍රීවිල් එක ආයම හරවන් යනකොට බාප්පා මාවත් එක්කන් එතන තිබුන පොඩි ගේට්ටුවෙන් ඇතුලට ආවා...

අම්මෝ...මේ ගෙදර ලස්සන අප්පා....

මගෙ ඇස් ලොකු උනා....සුදුම සුදු පාට තට්ටු දෙකේ ගෙයක් ....කලු පාට කාර් එකක්...කලු පාට ලොකු බයික් එකක්....අර...වතුර පොකුනකුත් තියනවා ...ඊට හපන් මල්....බාප්පගෙ යාලුවා මල් කුමාරයෙක්ද මන්දා....

ගෙට එනමම්ම වත්තෙ තිබුන දේවල් දිහා කටත් ඇරන් ආව මම තව ටිකෙන් හොම්බෙනුත් යනවා ....

මේ දොර ඇරපන්...

ඒ අපේ බාප්පා ....එයා ආයම දොර ගාව හිටගන කෝල් එකක් ගත්තා ....මාත් බලන් උන්නා බාප්පගෙ මල් කුමාර යාලුවා මොකාද කියලා ....

ක්ලික්....කිලික්.....

දොර අගුල පැන්නුනා දොර ඇරුනා...මගෙ ඇස් ලොකු වෙල කටත් ඇරුනා...

සන්තානම් මෑනියනෙ . ...මේ අර නලුවා.....!!!!

මන් ඉක්මනට සුදු බාප්පා දිහා බැලුවා ...එතකොට අපෙ බාප්පගෙ යාලුවා මෙ නලුවද...එයත් දන්නවද දන්නෙ නෑ මෙයා තමයි බැට්මෑන් කියල නේ .....නැතුව ඇතිනෙ....එහෙම කිව්වොත් කරදරයිනෙ ....

නෙහාන්...වරෙන් ඇතුලට....

එයා බාප්පට කතා කෙරුවා ...මං නම් ඇස් පිල්ලමක් වත් නොගහා එයා දිහා බලන් උන්නා ඒ එක්කම එයා මා දිහා බලලා කටපුරාම හිනා උනා...අපෙ බාප්පා එක්ක හිනා උනෙ නෑ....එ උනාට මා එක්ක නම් හිනා උනා ..ඇත්‍තනෙ...සුපිරි වීරයො කොහොමත් ලමයිට ආදරෙයි නෙ පේන්නෙ නැද්ද පීටර් පාකර් උනත් සූ.....ස් ගාලා මදුරු දැලෙ එල්ලිලා එන්නෙ ළමයි බේරන්න ...

ඕ.....මේ...කව්ද මේ....!!අපෙ අමේලිගෙ යාලුවනෙ මෙ ඇවිත් තියෙන්නෙ....එන්න බබී ඇතුලට .....කව්ද දන්නෙ ඉතින්...ම්ම්ම්

එය මගෙ කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරන ගමන් හිනා වෙනකොට මං ඇතුලට ආවා ..බාප්පා මගෙ අත අතෑරියා නලුවා දොර වැහුවා ....

අම්මො මෙ ගෙදර ලොකු ...!!!

ඇතුලට මගෙ ඇස් ලොකූ උනා .අපෙ බාප්පට නම් මේක ගෙදර වගෙ පුරුදුයිද කොහෙද ...එයා ගානක් නැතිව ගේ පුරාවටම ඇවිදිනකොට මම බයෙන් බයෙන් ඇවිද්දා ....අහුමුලු අස්සෙ වවුල්ලු ඉන්නවද බැලුවා .....

උඹ මොනවහරි බොනවද ....නැත්තන් අම්මලා කෑම අරන් එනකන් ඉදලා කනවද .....

දැනටමත් ෆ්‍රිජ් එක ඇරන් වතුලයබෝතලයක් අතෙ තියන් උන්න බාප්පගෙන් නලුවා මොනවා හරි බොනවද අහනකොට බාප්පා නෑ කියලා මාව ඔලුවෙන් පෙන්නුවා ....ඊට පස්සෙ එයා මගෙ දිහාවට හැරුනා ....

බබීඔයා මොනව හරි බොනවද....ම්ම්....

ම්ම්ම්.....

මට දෙන්න උත්තරයක් තිබුන් නෑ එපා කියලා එයාගෙ හිත රිදෙයි කියලා හිතපු හින්දම මම ම්ම්ම් ගෑවා ....

එන්ඩ බලන්ඩ ඔයා ආස දෙයක් තිබුනොත් ගන්ඩ ආ...

එයා මගෙ අතින් අල්ලගත්තා අල්ලන් ෆ්‍රිජ් එක ගාවට එක්ක ගියා ..ගිහින් ෆ්‍රිජ් එකෙ දොර ඇරියා .....අම්මො...ඒක කෑම ලෝකයක් .... නැති දෙයක් නෑ අප්පා. ....

එහෙම වෙන්න එපැයි .නලුවෙක් උනාම කන්ඩ බොන්ඩ එපැයි.....අනික බැට් මෑන්ට සත්තිය ඕනනෙ රෑට පියාබන්ඩ ...

මං එයාගෙ ෆ්‍රිජ් එක පුරාවටම ඇස් යැව්වා ..අනෙ එයා නම් අපෙ ලොක්කම්මා වගෙ නෑ.....මට ඕන එක තෝරගන්නකන් ඔහේ උන්නා ...ඒකට අපෙ ලොක්කම්මා ..ෆ්‍රිජ් එක ඇරපු වෙලේ ඉදන් වහනකම්ම කෑ ගහනවා ඔය දොර වහපන් කරන්ට් එක කකා ඇරන් ඉන් නැතුව කියනවා ...

අ .අ ..අර ..අරක....

.කෝකද ...මේකද...ම්ම්

මං සෑහෙන්න වෙලාවක් බලන් ඉදලා තැඹිලි පාට බීම එකක් පෙන්නනකොට එයා එකින් එක පෙන්න පෙන්න මේකද මේකද අහනකොට අවසානෙදි මං ඉල්ලපු එක අතට දුන්නා ඒවිතරක් නෙවෙ..මට වෙඩින් කේක් කෑල්ලකුත් දුන්නා...අනෙ එයා හරි හොදයි අප්පා ..වෙන නලුවො වගෙ ආඩම්බරත් නෑ.....

එයා දොර වැහුවා වහලා මා දිහා බලලා හිනා වෙනකොට මං අපෙ බාප්පා ඉන්නවද බැලුවා ...බාප්පා නෑ ....අනෙ මට එයාගෙන් රහසක් අහන්න ඕනනෙ ...මං එයාගෙ ටී ශර්ට් එකෙන් ටිකක් ඇදලා පහත් වෙන්න කියන්න ඔලුව උඩ පහලට කරනකොට එයා නැවුනා ...

ඇයි.....

ර්‍ ර්ර්...ර..හසක්....අඅ..හන්නද...

මම්ස් හොරෙක් වගෙ කතා කෙරුවා ....එයා වට පිට බලලා හා කියන්න ඔලුව වැනුවා ...

ඔ...ඔ...ඔයා...න්න්...නේ...ද.....බ්බ්...බැ...ට්...ම්ම්..මෑන්.....

එයාගෙ ඇස් දෙක හීනි උනා ...එයාට තරහා ගියාවත්ද....අනෙ මන් කාටත් කියන් නෑනෙ...මට ඕනෙ එයාගෙන් උදව්වක් ඉල්ලන්න විතරනෙ....නැත්තන් අපෙ අම්මයි මායි බැනුම් අහනවනෙ.....

මං කදුලු පුරවගන බලන් උන්නා...එයා ආයම හිනා උනා 

ඔයා කොහොමද දැන ගත්තෙ මමයි බැට් මෑන් කියලා ....

ඔය ....අනෙ මං කිව්වෙ....එයා තමයි ...අනෙ එයා තමයි බැට් මෑන්....එයානෙ.....මං ඉක්මනට අතෙ තිබුන බීම එකයි කේක් කෑල්ලයි පැත්තක තියලා එයාගෙ කනක් මගෙ අත් දෙකෙම්ම වහගත්තා ...රහස කාටහරි ඇහුනොත් ....

ම්ම්...මං....ද්ද්...දන්නවා .....යෙ යෙ . .යෙවින්.....දන්නව .. .....අන්..නේ...ම්ම්...මට ...උදව්වක්...ක්ක්...කරන්ඩකො...

හා මොකක්ද .....?

මං එයාගෙන් උදව්වක් කරන්න කිව්වම එයා හා කිව්වා....අනෙ එයාට පුලුවන් වෙයි ...

ම්ම්...මගෙ මල්ලි...බ්බ්...බ්බ්...බබා . .න්න්...නැති උනා ...ල්...ලොක්...කම්මා ...යෙ යෙවීන්ටයි....අම්..මටයි....බ්බ්...බ්බ්...බනිනවා නේ ....ඒ...එ...එයාව.....හො...ය...ලා ...දෙ...න්න්...න....ප්ප්...පුලු...වන්...ද....??

.......??

😶ආයම අග්ගියා එක්ක එන්නම්.....

මම.....

Ferdeesha ❤️💚😘 ...

More Chapters