Ficool

Chapter 22 - 22

" මිස්ටර් සමරදිවාකර.. ඇයි මේ හදිසියේම වගේ ගෙදර යන්න ඕනි කියන්නේ? "

ගැරඬියගේ කල්පනාව බිඳගෙන කාමරයට ආව ඩොක්ටර් කොල්ලා දිහා බලාගෙන ඇහුවා. ජේකබ් හිටියෙ ඩොක්ටර්ට පිටිපස්සෙන් මිගාන් දිහාවට එබිලා බලාගෙන .

" ඔව් doctor.. දැන් මට ටිකක් හොඳයි.. "

මිගාන් ඔහේ කියවගෙන ගියේ ඩොක්ටර් දිහා හරියට බලන්නෙවත් නැතුව.

" මිස්ටර් සමරදිවාකර.. තාම මිස්ටර් සමරදිවාකරගේ බැන්ඩේජ් එහෙම ගැලෙව්වට හොඳටම හොඳයි කියලා කියන්න බෑ.. "

ඩොක්ටර් කිව්වේ ටිකක් අවවාදාත්මක විදිහට .

" Doctor... මට ගෙදර යන්න ඕනි.. "

මිගාන් ඒ පාර නම් කිව්වේ ඩොක්ටර් දිහාත් රවාගෙන වගේ බලන් , ටිකක් සැර විදිහට කටහඬත් උස් කරලා.

" අ...හරි.. හරි මිස්ටර් සමරදිවාකර.. "

ඩොක්ටර් වුණත් කොල්ලගේ වචන දෙක තුනට බය වෙච්චි පාටයි. ඒත් එක්කම වගේ ඩොක්ටර් එළියට ගිහින් නර්ස් කෙනෙක්වත් එක්කගෙන ඇවිත් ඔක්කොම reports ටිකත් බලලා කොල්ලව discharge කරන්න ලෑස්ති වුණා .

ජේකබ් ඔක්කොම බඩු ටිකත් ලෑස්ති කරගෙන කොල්ලවත් එක්කගෙනම room එකෙන් එළියට යද්දි තවත් කළු ඇඳ ගත්තු නින්ජලා ටිකක් ඇවිත් ඒ බඩු ටිකත් අරන් රෝහලෙන් එළියට ගියා.

" සර්.. සර්ට ඇවිදින්න පුළුවන්ද? "

ජේකබ් ඇහුවේ කොල්ලා ටිකක් කොර ගගහා වගේ තනියම ඇවිදන් එනවා දැකලා.

" දැන් අවුලක් නෑ බං.. "

කොල්ලා යාන්තමට වගේ හිනා වෙලා කිව්වා. ඒත් ඒ හිනාව අස්සෙ තිබුණේ හංගගත්තු ලොකු දුකක් කියලා කොල්ලගේ හිත ඇරෙන්න ජේකබ්වත් කිසිම කෙනෙක්වත් දන්නෙ නෑ.

අත වෙළපු බැන්ඩේජ් එකයි, නළලේ අලවලා තියෙන ප්ලාස්ටර් එකයි නැති වෙන්න කොල්ලගේ කිසිම ලෙඩ පාටක් නෑ. මිගාන් හෙමින් සැරේ එළියට ඇවිත් ජේකබ් එක්කම ජීප් එකට නැග්ගා.

කලින් හිටපු driver ව අයින් කරපු නිසා කොල්ලගේ ජීප් එක drive කරන්නෙත් ජේකබ්මයි. පිටිපස්සේ වාහනේ කොල්ලගේ බඩු බහිරාදියත් දාගෙන අනිත් නින්ජලා සෙට් එක එනවා.

ඉස්සරහින් යන ජීප් එකේ නපුරු වුණත් පොඩ්ඩ ඇත්නම් උණු වෙන හිතක් තියෙන ගැරඬියයි, එයාගෙ සුවච කීකරු අතවැසි ජේකබුයි විතරයි . Durdans රෝහලේ ඉඳලා මිගාන් ගෙදර ආවට ආවා. ඒත් ඒ හිත තිබුණේ එයා ගාව නම් නෙවෙයි සත්සිඳු මකරන්ද කියන අහිංසකයා ගාව.

සත්සිඳු ආගිය අතක් නැති වෙද්දි ඔක්කොටම වඩා බය වුණේ ඒ හිත. ගොඩක්ම කලබල වුණෙත් ඒ හිත. සත්සිඳු වෙනුවෙන් මෙච්චරක් කියලා කියන්න බැරි මහ ලොකූ ආදරයක් ඒ හිතේ පිරිලා. ඒත් ඒ ආදරේ තේරුම් ගන්න අර අහිංසකයගේ හිත නම් සූදානම් නෑ.

ඒ එයාගෙ ආදරේ දිනාගෙන ඉන්න වේහාර පන්හිඳ සප්තපර්ණී නිසා. නැත්නම් ඇත්තෙන්ම ඒ හිතේ නපුරු ගැරඬියා ගැන කැමැත්තක් , ආකර්ෂණයක් නැතුව නෙවෙයි. මිගාන් අර නුග ගහ යටට වෙලා එයා එනකන් බලන් ඉද්දී ඒ මූණේ මැවෙන හිනාව, හිත අස්සෙන් උතුරන සතුට..

ඔව්, ඒ නපුරු ගැරඬියා ගැන හිතේ තියෙන කැමැත්ත නිසාමයි. කොච්චර කැමති වුණත් ඒ හිත පන්හිඳ වෙනුවෙන් ලියලා දීලා ඉවරයි. ඒ නිසා ඒ හිතට නපුරු ගැරඬියා වෙනුවෙන් වෙන් කරන්න තරම් ඉඩක් නෑ. ඒ හින්දමදෝ මිගාන් ගැන තිබුණ ඒ කැමැත්ත සත්සිඳුම හිතල හිතලා මහා ගෞරවයක් බවට පෙරළ ගත්තා .

ගෙදර ආවට මොකද මිගාන්ගේ හිතට හරි පාළුයි. ලා පාට අහස කළුවර වෙලා ගිහින්. ලොකු වැස්සක් අත ළඟ වගේ. මිගාන් බැල්කනි එකට වෙලා බලන් උන්නේ ඒ අහස දිහා.

" මගෙ හිතත් ඔය වගේමයි. අඳුරු වැහි වලාකුළු පිරිලා ගිහින්. මං දන්නෑ සත්සිඳු.. මහ වැස්සක් අත ළඟ එනවා. මට ඒ වැස්සට තෙමෙන්න බෑ. මොකද ඒක හිරිපොද වැස්සක් නොවන හින්දා.. මට මේ වැස්ස දරාගන්න නම් ඔය හිත මං වෙනුවෙන් එක වතාවක් ලියල දෙන්න.. මගෙ ආදරේ එක පාරක්.. එකම එක පාරක් පිළිගන්න.. මුළු ජීවිත කාලෙම ඔය හිත මලක් වගේ මං බලාගන්නම් සත්සිඳු.. මගේ ජීවිතේ එකම හිරිපොද වැස්ස ඔයා.. ඉන්න තැනකින් ඉක්මනට එන්න.. මට පාළුයි.. මගෙ ඇස් හොයන්නෙ ඔයාව.. ඔව්, ඒ ඔයා විතරමයි... "

ඈත අහසේ ඔහේ ඉවක් බවක් නැතුව පාවෙන කළු වැහි වලාකුළක් දිහා ඇස් යොමන් ගැරඬියා ආදරණීය වාග් සල්ලාපයක යෙදුණේ තමන් එක්කමයි.

ඒ වෙද්දිත් වැල්ලෙ ගෙදර නම් එකම අඳෝනාවක්. සත්සිඳුගේ අම්මයි, නංගියි දෙන්නම කිරි අම්මගේ නිසල දේහය ගාවට වෙලා කඳුළු සලමින් හිටියා . ගොඩක් අමාරුවෙන් වුණත් පන්හිඳ ඇතුළේ කාමරයට එක්කගෙන ගිය සත්සිඳු ටික වෙලාවකින් ආයෙමත් එළියට ආවේ අර බොඳ වෙච්චි ඇස් දෙකෙන්මයි.

ඒ ඇස් කඳුළුවලින් පෙඟිලා ගිහින් රතු වෙලා . පපුව තාමත් වේදනාවෙන් බර වෙලා ගිහින් . දරාගන්නවත් බැරි අනේක විධ දුක්ඛ දෝමනස්සයන් මැද පවුල වෙනුවෙන් දිවි ගැට ගහ ගත්තු කිරි අම්මා.. ඒත් ඒ වෙද්දි කිරි අම්මා මේ ලෝකෙන් යන්නම ගිහින්.

හෙමින් සැරේ අඩි තිය තියා ඇවිත් කිරි අම්මගේ නිසල දේහය ළඟ නතර වුණු සත්සිඳු පියවිලා තියෙන ඇස් දිහා බලන් හිටියේ හිතේ උතුරන් යන ආදරේ, වේදනාව දෙකම එක පිට දරාගෙන . සුදු ඔසරියට ඉස්සර දවස්වල වගේම කිරි අම්මා එදත් හරි හැඩයි.

ඒත් වෙනසකට තිබුණේ ඒ දවස්වල ඒ මූණේ තිබුණ හිනාව එදා දවසේ නැති එක. ඒ වෙනුවට පියාගත්තු ඇස් එහෙම්මම වහගෙන කිරි අම්මා ඔහේ නිසොල්මනේම හිටියා . හුස්මක් නැති නිසල දේහය අසළට වෙලා අර පියවුණු ඇස් කොයි යම්ම හෝ මොහොතක විවර වෙයි කියන බලාපොරොත්තුව විතරක් සත්සිඳුගේ හිතේ තිබුණා .

ඒත් ඒ බලාපොරොත්තුව කවදාවත්ම ඉෂ්ඨ නොවන බව ඒ හිත කියන්න ගනිද්දි ආයෙමත් ඒ ඇස්වලින් කඳුළු වැටෙන්න වුණා . කිරි අම්මගේ නිසල දේහයේ දෙපා අසළට ගිහින් ඒ දෙපා අත් දෙකින්ම අල්ලගෙන හිතේ වේදනාව හින්දා එන කඳුළු බිංදුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන ගමන් ඒ දෙපා සිපගත්තේ සුපුරුදු ලෙන්ගතු හිතෙන්මයි.

අවුරුදු ගාණක් සත්සිඳුයි, එයාගෙ නංගියි වෙනුවෙන් වෙහෙසුණු කිරි අම්මා වෙනුවෙන් ඒ ඇස්වලින් වැටෙන කඳුළු බිංදුවලට සීමාවක් නැති තරම්. වැල්ලේ ඒ මේ අත දුව දුවා දඟ වැඩ කරද්දි ඉලපතකුත් අරන් පන්නගෙන ඇවිත් තරවටු කරපු කිරි අම්මා ආයෙමත් නොඑන්නම ගිහින්.

කිරි අම්මා යන්න ගියපු ඒ නොඑන ගමන ගැන සත්සිඳු කවදාවත් හිතුවේම නෑ. මෙච්චර ඉක්මනට කිරි අම්මා මේ ලෝකෙන් යන්න යයි කියල කවදාවත්ම සත්සිඳු හීනෙකින්වත් හිතුවෙ නෑ. අඩු තරමින් කිරි අම්මා නැති ලෝකයක් ගැන සත්සිඳුට ඒ මොහොතෙවත් හිතාගන්න බෑ.

" අනේ.. අනේ ඇයි රත්තරනේ.. ඇයි ඔයා මෙච්චර හදිස්සි වුණේ ? ඇයි ඔයාගෙ සුදු චූටි එනකන් ඉන්න බැරි වුණේ ? අනේ.. ඇයි කිරි අම්මේ ඔයා යන්න ගියේ? මං එනකන් ඇයි ඉන්න බැරි වුණේ ? මේ සුදු චූටිට ඔයා නැතුව පාළුයි කිරි අම්මේ.. අනේ ඇයි මේ සුදු චූටිව දාලා ඔයා යන්න ගියේ? ඇයි.... අනේ මගෙ රත්තරනේ.. මේ ලෝකෙ මොනා හරි ආශ්චර්යයක් තියෙනවා නම් එකම එක පාරක් ඇස් අරින්න.. එක පාරක්.. අනේ කිරි අම්මේ... "

සත්සිඳු කිව්වේ කිරි අම්මගේ දෙපා දෑත්වලින් තද කරලා අල්ලාගෙනමයි. ඒ ඇස්වලින් වැටෙන කඳුළුවලට නම් නැවතීමේ සීමාවක් නෑ. ඒ කඳුළු ඉවක් බවක් නැතුව ඔහේ ගලන් යනවා.

ජීවිතේ නොහිතූ තත්පර හිතුවෙවත් නැති මොහොතක ජීවිතේට ඇවිත් ඇති කරන්නේ හරි පුදුමාකාර පෙරළිකාරකම්. ආයෙමත් වතාවක් ඒ දෙපා ආදරෙන් සිප ගත්තු සත්සිඳු කිරි අම්මගේ මූණ දිහා ඔහේ බලන් හිටියා . ඒ මූණ මලක් පරවෙලා ගිහින් වගේම මැලවිලා.

කිරි අම්මගේ සුවඳ තාමත් ඒ ගේ පුරාවටම පැතිරෙනවා. ජාඩි දාන මාළු , බල මාළු තම්බලා හදන සැර හොද්ද.. ඒවයේ රස ආවෙම කිරි අම්මගෙ අත් ගුණයෙන්. නංගිවයි, එයාවයි එක ළඟ වාඩි කරවගෙන අම්මා මාළු දැල් අදින්න ගිහින් එනකන් බත් අනලා කැව්වේ කිරි අම්මා. බලා කියා ගත්තේ ඒ කිරි අම්මා. කතන්දර කියා දුන්නේ කිරි අම්මා.

ඉතින් ඒ ආදරණීය ආත්මය මේ සුළඟට ගහගෙන ගිහින්. ඈතින් ඇහෙන මුහුදු රැල්ලේ හඬ හරියට විරහවෙන් දෝංකාර දෙනවා වගේ. ක්ෂිතිජය මායිමේ වෙනදා තිබුණ නිල් පැහැය අතුරුදන් වෙලා වගේ.

සත්සිඳු දුක්වෙන හැටි බලන් පැත්තකට වෙලා ඉන්න තරම් පන්හිඳට පුළුවන්කමක් නෑ. සාලයේ දොරකඩ ඉඳන් කිරි අම්මගේ නිසල දේහය ළඟට වෙලා ඉන්න සත්සිඳු ගාවට ගිය පන්හිඳ හෙමින් සැරේ එයාගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන පපුවට වාරු කරගත්තා.

ඒත් එයාගෙ ඇස් තියෙන්නෙම කිරි අම්මගේ නිසල දේහය දිහාවට යොමු වෙලා. වෙනදා නොදැනෙන තරම් මහා ලොකූ වේදනාවක් එක්ක මුහු වෙච්චි ආදරයක් ඒ මොහොතේ පන්හිඳගේ හිතේ පිරෙන්න ගත්තේ සත්සිඳුගේ ඇස්වලින් ගිලිහෙන හැම කඳුළු බිංදුවක් ගානෙම එයත් හිත ඇතුළෙන් අනේක වාරයක් දුක් වෙන නිසාමයි.

පන්හිඳගේ පපුවේ උණුහුම සත්සිඳුට හරි ලෙන්ගතු විදිහට දැනෙන්න වෙද්දි එයා කළේ තවත් ඒ පපුවට වාරු වෙලා ඒ පපුව අස්සෙම මූණ හංගගත්තු එක. ඇස්වලින් වැටෙන හැම කඳුළු බිංදුවකටම ඔහේ ගලන් යන්න දීලා සත්සිඳු ඒ රළු පපුව අස්සෙ මූණ හංගගෙන අඬන්න වුණා .

පන්හිඳ හෙමින් සැරේ එයාගෙ ඇඟිලි තුඩු සත්සිඳුගේ හිසකෙස් අතරින් එහෙ මෙහෙ කරලා හිස පිරිමදින්න වුණා . සත්සිඳුට හිතේ සැනසීමක් දැනෙන්න වුණේ ඒ රළු පපුව තුරුළෙදි විතරමයි. ආදරේ කියන්නේ එහෙම දෙයක්. දරාගන්න බැරි තැන්වල වාරුවක් වෙන එකට..

පඩිපෙළ බැහැගෙන පහළ සාලයට ඇවිත් මිගාන් එළියට බැස්සේ ගේ ඇතුළේම ඉද්දි දැනෙන කම්මැලිකමටත් වඩා සත්සිඳු ගැන ආරංචියක් නැති නිසා තැවෙන හිත මොහොතකට හරි නිවාගන්න ඕනි හින්දා. වැස්සක් වැහැලා පායලා තිබුණු නිසා පොළවේ පස්වලින් එන නැවුම් සුවඳ හරි හරියට දැනෙන්න වුණා .

ගස්වල තිබුණේ හරි පුදුමාකාර කොළ පාටක්. ඒ කොළ පාටත් එක්කම මොහොතකට බැඳෙනවා කියන්නේ හිත නිවාගන්න තියෙන හොඳම ක්‍රමය බව කොල්ලා දන්නවා. ඉස්සර නම් නුවරඑළියේ ගිහින් සති ගණන් ඉඳලා එන්න පුළුවන් වුනාට දැන් නම් කොල්ලට කොළඹ අත් හැරලා මොහොතකටවත් ඈතකට යන්න තරම් නම් හිතක් ඇත්තෙම නෑ.

ඒ වෙන හේතුවක් හින්දා නෙවෙයි. අර අහිංසක කොල්ලා එනකන් කුමාරතුංග මුනිදාස මාවතේ පෞරාණික නුග ගහ යටට වෙලා බලන් ඉන්න තියෙන වුවමනාව හින්දා.

එළියට වෙලා ඉද්දි නම් ඇත්තෙන්ම ඒ හිත මොහොතකට භාවනාවකට සමවැදුණා වගේ හරි පුදුමාකාර විදිහට සන්සුන් වෙලා නිවෙන්න ගත්තා . ජීවිතේ නිවෙන්න නම් ඇල් දිය බිඳක් වගේ හිතක පහසක් ඕනිමයි. ඉතින් හිතුවක්කාර නපුරු ගැරඬියගේ හිතත් ඉල්ලුවේම ඒ වගේ හිතක පහසක්.

ඒ ඇල් දිය බිඳ සත්සිඳු මකරන්ද විතරක්ම බව ඒ හිත කියන වාරයක් පාසා පන්හිඳගේ හිතේ තියෙන ආදරයටත් නොදෙවෙනි වෙච්චි ආදරයකින් ඒ හිත පිරිලා යනවා. කොච්චර දරදඬු වුණත් ඒ ඇස්වලට කඳුළක් උනාගෙන එන්නේ අර අහිංසක හිත ගැන මතක් වෙද්දිමයි. ඒත් ඉතින් නපුරු ගැරඬියා නම් කොයි වෙලාවකවත් ඇස්වලින් කඳුළක් වැටෙන්න ඉඩක් දෙන්නෙ නෑ.

එක අතකට පිරිමි හරි පුදුමයි. කෝටියකුත් ප්‍රශ්න වේදනා එක්ක හිත අස්සෙන් දරාගෙන කඳුළකට වුණත් වැටෙන්න නොදී ඉන්න අපූරුව... ඒ තරමටම හරි අපූරු මායාකාරී පිරිමියෙක් වෙන්නත් හැමෝටම බෑ. ඒත් ඒ හිතුවක්කාර නපුරු ගැරඬියා නම් අර කිව්වත් වගේ අපූරු මායාකාරී පිරිමියෙක්.

" සර්..."

ගේ දොරකඩින් එබිලා බලලා බාබු අන්කල් මිගාන්ට කතා කළා.

" බාබු අන්කල්... "

මිගාන් පිටිපස්ස හැරිලා බාබුට කතා කරගෙනම ආයෙමත් ගෙට ගොඩ වුණා .

" සර් මොනාද බොන්නේ.. තේ ද, කෝපි ද? "

මිගාන් එච්චර කල්පනා කළේ නැත්තේ මොහොතකට කලින් ඇද හැළුනු වැස්සත් එක්ක හරියටම ගැලපෙන පානය මොකක්ද කියලා දන්න නිසාමයි.

" කෝපි එකක් ගේන්නකෝ එහෙනම්... "

මිගාන් පුටු සෙටි එකට බරවෙලා වාඩි වෙන ගමන් කිව්වා.

" හරි සර්... මොනා හරි ආස දෙයක් තියෙනවා නම් කියන්න , මං හදලා දෙන්නම්.. "

බාබු අන්කල් එහෙම කියාගෙන කුස්සිය පැත්තට යද්දි ඒ දිහා බලන් හිටපු මිගාන් එහෙම්මම ඇස් පියාගත්තේ නිදිමතකුත් ළඟ ළඟම එද්දී. ඒත් එයාට මිනිත්තු පහක්වත් ඒ ඇස් පියාගෙන ඉන්න වුණේ නෑ.

" සර්...සර්...සර්..."

මිගාන් ඇස් ඇරලා බලද්දී එයාගෙ ඉස්සරහ හිටගෙන හිටියේ බාබු අන්කල්. සුදු පාට මග් එකත් අතේ තියාගෙන බාබු අන්කල් මිගාන් දිහා බලන් හිටියේ තමන්ගෙම දරුවෙක් දිහා බලනවා වගේ ආදරෙන්..කරුණාවෙන්..

" කෝපි එක... "

බාබු අන්කල්ගෙ අතින් කෝපි එකත් අරගෙන මිගාන් කෝපි කෝප්පය තොල ගාන්න වුණා . ඒ කෝපි එක නම් වෙනමම රසයක්. හීතලම හීතල වැස්ස දවසකට කෝපි එකක් තරම් වටින තවත් දෙයක් තියෙනවද..

අත බැන්ඩේජ් කරලා තිබුන නිසා බොහොම පරිස්සමෙන් කෝපි කෝප්පය අතට අරන් තොල ගාන වාරයක් පාසා මිගාන්ට හිතුණෙම ඉස්සර බැල්කනි එකට වෙලා හිස් කරන බියර් වීදුරුවලට වඩා කෝපි එකක් කොච්චර නම් රසයිද කියලා. ඒත් කෝපි එකකයි, බියර් එකකයි තියෙන්නේ වෙනස් රසයන් දෙකක්.

කෝපි කෝප්පයක් හොඳ මේ වගේ සීතලම සීතලකට.. ඒත් බියර් වීදුරුවක් නම් ගැලපෙන්නෙම ඌෂ්ණාධික රාත්‍රියකට. ඒත් ඉතින් බියර් වීදුරුවක් වුණත් සීතල මොහොතකට ගලපගන්න බැරි කමක් නෑ. හරියට ඒකත් ජීවිතේ වගේ. ගැලපීම් නොගැලපීම් එක්ක යන ගමනක්.

පුටු සෙටි එකට වෙලා මුළු කෝපි කෝප්පයම හිස් කරපු ගැරඬියා ආයෙමත් පඩිපෙළ නැගගෙන ඉහළ මාලයට ගියේ ළඟ ළඟ එන නිදිමත ඇඳ බදාගෙන හොඳ නින්දක් දාපන් කිව්ව හින්දමයි.

එන්න එන්නම රෑ වෙනවා. ඈතට වෙන්න වගේ මුහුදු රැල්ල ඇවිත් වෙරළේ හැපිලා යන හඬ සත්සිඳුගේ දෙසවනට හොඳාකාරවම ඇහෙනවා. හවස් යාමයේ වැල්ලට වෙලා මොහොතක් ඈත මුහුද දිහා බලන් උන්නේ කිරි අම්මාගේ නිසල දේහය ළඟ ගොඩ වෙලාවක් හිටිය හින්දා පුංචි හිත සැනසීමකටත් එක්ක කියලා පන්හිඳ අයියා එයාවත් එක්කගෙනම වැල්ලට ආපු නිසා.

ඒ වෙලාවෙ නම් මුහුද හරි සාමකාමී විදිහට තිබුණේ හරියට සත්සිඳුගේ දුක තේරුම් අරන් වගේ. කොහොමත් මුහුද එහෙමයි. ඉස්සර ඉඳන්ම දුකක් ආවත් සතුටක් ආවත් සත්සිඳු ඒ වැල්ලට දුවලා ගිහින් ඈත මුහුද දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවට එයාට දැනෙන්නෙම මුහුද වෙනදාටත් වඩා සාමකාමී වෙලා එයාගෙ හිතට ඇහුම්කන් දෙනවා කියලමයි.

හවස් යාමයේ පන්හිඳ අයියත් එක්ක වැල්ලේ හිටපු මිනිත්තු ගාන හරි වෙනස් කාල පරාසයක්. ජීවිතේ කෙනෙක් ඈත් වෙලා යද්දි ඒ ආදරේ ආයෙමත් දෙන්න කෙනෙක් ළං වුණා වගේ හැඟීමක් ඒ මොහොතේ සත්සිඳුට දැනෙන්න වුණා . ඉර බැහැගෙන ගිහින් ක්ෂිතිජය මායිමෙන් ගිලගද්දි මුළු අහසම තැඹිලි පාටත්, රතු පාටත් එක්ක මුහු වෙලා තිබුණේ හරි අපූරුවට සිත්තම් මවමින්.

ඉස්සර දවස්වල නම් ඒ දසුන බලන්නෙ කොච්චර ආසාවෙන් ද? ඒත් අද කියන දවස ඒ සතුටු හිතෙන්ම අර දසුන දිහා බලන් ඉන්න පුළුවන් දවසක් නම් නෙවෙයි. කිරි අම්මත් යන්න ගියේ හරියට හැන්දෑවට ක්ෂිතිජය මායිමේ ගිලගන්න ඉර වගේ.

ඒත් එක්කම අහසේ මුහුදු මායිමෙන් ඉගිල්ලිලා ගිය මුහුදු ළිහිණියා කොහේදෝ ඉඳන් ආපු එකෙක්. පන්හිඳ ඇවිත් සත්සිඳුගේ උරහිසක් උඩ අතක් තියලා උරහිස මිරිකුවේ හරියට ඒ හිත සනසවන්න වගේ.

" අපි යමු නේද ? "

ඉර ක්ෂිතිජය මායිමේදී ගිලිලා ගියාට පස්සේ පන්හිඳ සත්සිඳුගෙන් ඇහුවේ එයාගෙ ළඟට වෙලා අර උරහිස උඩ අත තියාගෙනමයි. ඒත් සත්සිඳුට නම් යන්න හිතක් නැති ගානයි. හෙට කියන දවසින් පස්සේ කිරි අම්මා මේ මහපොළවට මිහිදන් වෙනවා කියන සිතුවිල්ල එද්දි නම් එයාට තවත් එක තත්පරයක්වත් ඒ වැල්ලේ ඉන්න බැරි වුණා . එහෙම්මම පන්හිඳවත් තනි කරලා සත්සිඳු ආයෙමත් ගෙදරට දුවලා ආවෙ සාලයේ සැතපිලා ඇස් පියන් ඉන්න කිරි අම්මගේ නිසල දේහය ගාවට.

ඒත් කිරි අම්මා නිදි. එයා ආයෙමත් නැඟිටින්නේ නැති බව සත්සිඳු දන්නවා. මැලවුනු මුහුණින් කිරි අම්මගේ නිසල දේහය දිහා බලන් හූල්ල හූල්ල ඉන්නවා විනා තවත් එයාට කරන්න දෙයක් තිබුණේ නෑ. ඉතින් සත්සිඳු මුළු රෑම බලන් හිටියා . ඇහිපිල්ලම් ගහන තත්පරෙන් කඳුළු ඇවිත් කම්මුල් දිගේ ගලාගෙන ගිය කිහිප වතාවකම පන්හිඳ ළඟට ඇවිත් ඒ කඳුළු පිහදාලා එයාගෙ පපුවට තුරුළු කරන් ඒ හිත සැනසුවේ 'මගේනේ' කියන හැඟීමෙන්මයි.

මීළඟ කොටසට ...

More Chapters