Ficool

Chapter 48 - 48

වෙලාව රෑ හත පහු වෙලා අටට වෙලාද අට පහු වෙලා නවය වෙලාද කියලවත් එයාලට නිනව්වක් නෑ. බෝ මළුවට වෙලා වාඩි වෙලා ඒ බෝ රුක දිහා පහන් හැඟීමෙන් බලන් ඉන්න ඇස් ආයෙමත් මොහොතකට සත්සිඳු දිහාවට යොමු වුණා.

" Babybabe... "

" ම්... "

එයත් හිස හරවලා බැලුවේ මිගාන්ගේ ඇස් දිහා.

" රෑ වුණා නේද.. යමුද..? "

" අනේ..! තව චුට්ටක් ඉමුකෝ.... "

" හ්ම්.. එහෙනම් ඉමුකෝ... "

එයා එහෙම කියලා ලොකු හුස්මක් ගත්තේ ආයෙමත් එයාගෙ ඇස් අර විසල් බෝ රුක දිහාවට යොමු කරන ගමන්.

" හිත සැහැල්ලු වුනාද..? "

" ඔව් සර්.. ගොඩාක්... "

" එහෙනම් එච්චරයි.. ඔය හිත නිදහස් නම් මට එච්චරමයි ඕනි... "

එයා කිව්වෙ සත්සිඳුගේ අතකින් අල්ලගන්න ගමන්.

" babybabe... "

" සර්... "

" මට ඇත්ත කියන්න... "

" මොකක්ද සර්...? "

සත්සිඳු එයාගේ ඇස් දිහා බලාගෙන උන්නේ එයා අහන්න යන්නෙ මොකක්ද කිය්ස්ලා හරියටම හිතාගන්න බැරුව.

" ඔයා පන්හිඳත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගත්තද...? "

මොනවා කියලා නම් කියන්නද.. ඔව් කියන්නද.. නෑ කියන්නද.. කියන්න කියලා කිසි දෙයක් එයාට ඉතුරු වෙලා තිබුණේ නෑ. එයා එහෙම්මම බිම බලාගත්තේ මිගාන්ගේ ඇස් මඟ හරින අදිටනින් වුනත් ඒ ඇස් මඟ හැරලා ඉන්න එක නම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි.

" ඔය ඉතින්.. ඒ පාර ඇස් මඟ අරිනවා.. කියන්න මට.. මොකක්ද වුණේ.. මොකක්ද ප්‍රශ්නේ..? "

මිගාන් එයාගේ මූණ එයාගෙ පැත්තට හරවා ගන්න ගමන් ඇහුවා.

" අනේ සර්...! "

" ම්...කියන්න... "

" ඇත්තෙන්ම එහෙම ප්‍රශ්නයක් නෑ... "

එයා කිව්වේ රහසින් වගේ ගැරඬියගේ ඇස් දිහා බලාගෙනමයි .

" හොඳටම විශ්වාසද..? "

එයා කතා කළේ නෑ. යාන්තමට හිස වනලා ඔව් කියලා හැඟෙව්වා විතරමයි .

" අහන්නකෝ සත්සිඳු... "

" ඔයා දවසක හැමදේම කියන තුරු මං ඉවසනවා මගේ දරුවෝ.. හැබැයි එදාට නම් මට කිසි දෙයක් හංගන්න එපා.. මං බලන් ඉන්නවා.. my babybabe.. මගෙ වතුසුදු මල.. මොනා වුණත් මට ඇත්ත කියන්න.. මාව අවිශ්වාස කරන්න එපා.. මං හිතනවා ඔය හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මගේ ගාවදී ඔයාට නිවාගන්න පුළුවන් වේවි කියලා..දැන්ම නෙවෙයි, කවදා හරි දවසක.. මං කියන්නේ මගේ ගැන විශ්වාසයක් ඇති වෙච්චි දවසක.. මගේ තුරුළට වෙලා ඔය හිතේ දුක් ගින්න නිවෙන තුරුම එදාට කියවන්න.. අඬන්න ඕනි නම් අඬන්න.. හැබැයි හිත අස්සෙ දේවල් හංගගෙන මැරි මැරී ඉපදෙන්න එපා.. දුක් ගින්න නිවෙන තුරු මං ගාවට වෙලා ඉන්න.. මං දන්නවා ඔය ඇවිළෙන හිත මට නිවන්න පුළුවන් මගේ දරුවෝ... "

එයා කිව්වෙ ඒ අත අල්ලගෙනමයි. සත්සිඳු ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව ඒ ඇස් දිහා ඔහේ බලන් උන්නා.

" කොච්චර කුණාටු ආවත් කොයි මොහොතක හරි මේ සැඩ හුළඟ නවතිනවා දරුවෝ.. එදාට හිනා වෙලා පිපෙන හැම මලක්ම බය නොවී නෙළාගන්න.. මොකද ඒ එන වසන්තය ඔයා වෙනුවෙන්මයි.. ඒ වසන්තය ඔයාගේ මගෙ දරුවෝ... "

සත්සිඳු මොකුත් කිව්වෙ නෑ. අඩු තරමින් එකම එක වචනයක්වත්.. එයා නිහඬවම උන්නා. ඒත් වැලපෙන හිත.. ඒ හිත ඒ බෝ සෙවණ යටදී ඇතුලාන්තයෙන් වැලපෙන ඇසිල්ලේ අර පුංචිම පුංචි ස්පර්ශයෙන් පවා ඒ හිත නිවෙන අපූරුව..

අඬන්න හේතු දහසක් තිබුනත් හිත එක් මොහොතකටවත් මින් මත්තට නම් හඬන එකක් නෑ. ඒ තරමටම ඒ දඩබ්බර ගැරඬියස් කියන වචන හිතට අරන් එන්නේ පුදුමාකාර තරම් හයියක්. එයා එයාගෙ ඇස් දිහා බලාගෙනම උන්නා.

" සර්... "

එයා කතා කළා.

" ම්... "

" මට දෙයක් කියන්න... "

" මොකක්ද..? "

" ඇයි මාව වටින්නේ.. ඇයි මාව මෙච්චර පරිස්සම් කරන්නේ..? "

එයා ඒ ඇස් එක්කම පැටළිලා උන්නා. මිගාන්ගේ ඇස් දෙකේ තිබුණේ පුදුමාකාර දීප්තිමත් පෙනුමක්. රෑ අහසේ පායපු අර සුදු සඳ රැසින් එයා ඒ ඇස් දෙකේ දීප්තිමත් පෙනුම හොඳාකාරවම දැක්කා.

" වටින්නෙද.. වටිනවා ඉතින්..මොකද දන්නවද.. කළු ගලක් වගේ තිබ්බ හිතක් මල් පෙත්තක් වගේ සිනිඳු කරන්න පුළුවන් හදවතක අයිතිකාරයෙක් ඇයි වටින්නැත්තේ.. මං වගේ නරුමයෙක්වත් මෙච්චර සංවේදී කරපු මගෙ පුංචි දේව දූතයා ඇයි මට නොවටින්නේ.. මට ඔයාගෙන් තොර ලෝකයක් ගැන ඉස්සරහට හිතාගන්නවත් බෑ මගෙ දරුවෝ.. මං දන්නවා ඇබ්බැහි වෙන එක නරකයි තමා.. විශේෂයෙන්ම මිනිස්සුන්ට.. ඒත් මේ ඇබ්බැහිය තරම් මගෙ ජීවිතේ කිසිම සුන්දර හැඟීමක් මේ අවුරුදු තිස් එකටම මට මුණ ගැහිලා නෑ.. ඉතින් මට වටිනවා ගොඩක්.. ඒ හින්දම මං පරිස්සම් කරනවා... "

තවත් සත්සිඳුට කතා කරන්න ඉඩක් නෑ. හිතේ එයා ගැන මොකක්දෝ නමක් නැති හැඟීමක් මෙතුවක් කාලයක් තිබුණු බව ඇත්ත. ඒත් දැන්.. දැන් ඒ හැඟීමට නමක් තියෙනවා. ඔව්, ඒ තමයි ආදරේ..

ඒ හැඟීම ඇයි මෙච්චර කාලයකට නමක් නැති හැඟීමක් විදිහට මේ හිත් පතුලේ තැන්පත් වෙලා තිබුණේ.. හරියට ඈත ගැඹුරු සයුරේ ගිලී ගිය නෞකාවක අවශේෂ නටබුන් වගේ..

ජීවිතේ හරිම හමුවීම ළඟින්ම තිබිලත් හොයාගන්න බැරි වෙන හැටි.. ඒත් එක මොහොතක දෛවය හරස් වෙලා කුමන හෝ ක්‍රමයකින් හුදෙක් නිස්කාරණේ ගෙවූ හමු වීම් ඉවත ලා හරිම හමු වීම ජීවිතයට ළඟා කරන හැටි.. හරියට ඒ හැමදේම මායාවක් වගේ.

ඒ ඇස් එහෙම්මම පැටළිලා තිබුණා. මිගාන්ගේ එක අතක අරන් ආව හෙල්මට් දෙක. සත්සිඳු බලන් උන්නෙම එයාගෙ ඇස් දිහා. ඒ ඇස් වල අර දීප්තියත් එක්ක හරි අමුතු හැඟීමක් ගැබ් වෙලා තියෙනවා. ඔව්, ඒ හැඟීමත් ආදරේ තමයි.

එයා ඉතින් ආදරෙයි ආදරෙයි ආදරෙයි කියලා කියන්නෙ අද ඊයෙක ඉඳන් නෙවෙයිනේ . ඒත් ඉතින් මොළයක් කියලා කලඳක් නැති හිවල් හිකණල් අවලමෙක්ට ඒ උතුම් ගැරඬි ප්‍රාණියා කියන ඒ ලස්සනම ලස්සන කාරණය තේරුම් ගන්න බැරි වුණු එකනේ තියෙන ලොකුම ප්‍රශ්නය.

" babybabe... "

" ම්... "

" දැන් යමුද.. රෑ වෙලානේ... "

" හ්ම්.. යං... "

එයා රහසින් වගේ කියද්දි මිගාන් එක අතක් පොළවට බර කරලා නැඟිට්ටෙ අනිත් අතේ හෙල්මට් දෙකක්ම එල්ලගෙන උන්නු හින්දා. ඒ නැගිටලා එයා සත්සිඳුට අත දුන්නම එයත් ඒ අත අල්ලගෙනම නැගිටල කලිසමේ තැවරිලා තිබුණු වැලි ටික පිහදා ගත්තා. මිගාන් කළෙත් ඒකම තමයි.

" යං... "

මිගාන් එහෙම කිව්වම සත්සිඳු එයාගෙ අතක එල්ලුණේ මිගාන්වත් නොසිතූ මොහොතක. එයා එයා දිහා පුදුම වෙලා වගේ බලන් ඉද්දි සත්සිඳු හරි අහිංසක විදිහට එයත් එක්ක හිනා වුණා. එයත් එයාගෙ අතේ ඉල්ලිලා ඉන්න කොල්ලගේ මූණ දිහා බලලා හරි ලස්සනට හිනා වෙලා එයත් එක්කම ඉස්සරහට යන්න වුණා.

ගත වෙමින් තිබුණේ සුන්දර නිමේෂයන්. ඒ නිමේෂයන් තුළ ගෙවෙන තත්පර මිගාන්ට දැනුනෙම ජීවිතේ අහම්බෙන් වුණත් උදා වෙන සුන්දරම මොහොතවල් විදිහට . ජීවිතේ ලස්සන කරන අනේකවිධ වර්ණයන්ගෙන් සැදුම් ලත් සිතුවමක් විදිහට .

ජීවිතේ කියන්නෙම අහම්බයක් වෙද්දි ඒ හමුවීම් වුණත් අහම්බයක් ගානයි. ඒත් ජීවිතේ වෙනස් කරන්නෙ ඒ අහම්බකාරක හමුවීම් මයි.

මිගාන්ගේ අතක එල්ලිලා බෙල්ලන්විල රජ මහා විහාර භූමියෙන් ඇවිත් ගැරඬියා එයා දාගෙන ආව white colour sneakers දෙක දාගන්න තුරු සත්සිඳු හෙල්මට් දෙක අතට ගත්තා. එයා දාගෙන ආවේ pillow slippers දෙකක් නිසා එයාට නම් නැමි නැමී කරදර වෙන්න දෙයක් තිබුණේ නෑ. ඉතින් ගැරඬියා white colour sneakers දෙක දාගත්තට පස්සෙ එයාගෙ අතේ තිබුණු හෙල්මට් දෙක අතට ගත්තා.

" යං... "

මිගාන් එහෙම කිව්වම එයා ආයෙමත් වතාවක් මොහොතකට අත් හැරපු මිගාන්ගේ අතේ එල්ලුනා.

මිගාන්ගේ හිත.. ඒ හිත පෙරළි කරනවා. වෙන මොකකටවත් නෙවෙයි. හිත අස්සෙ නළියන සතුටට. කවදාවත්ම බලාපොරොත්තු නොවුණු විදිහට එයා අතේ එල්ලිලා යද්දි දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. ඒ හිතත් හරියට සතුට වැඩිකමට නටන්න අරන් තිබුණේ බෙල්ලන්විල පන්සලේ බෝ රුකේ ලා දළු බෝපත් මද සුළඟට සිලි සිලි නද නංවමින් නටපු විදිහටමයි.

දැනෙන සතුටත් එක්ක කෑ ගහලා සතුට පිට කරන්න හිතුණත් එයා එහෙම කළේ නෑ. ඒ නිසා එයා මූණේ ලස්සනම ලස්සන හිනාවක් පුරවගෙන එයාගෙ අතක එල්ලිලා ඔහේ ඇවිදන් යන කොල්ලත් එක්කම විහාර මාවතේ බයික් එක නවත්තපු තැනටම ආවා.

මුලින්ම ගැරඬියා බයික් එකට නැඟලා හෙල්මට් එක දාගත්තා. සත්සිඳු ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව එයාගේ දිහා බලන් උන්නා. ඒ කඩවසම් පෞරුෂය නම් එයාගේ හිත හරි හරියට ඇද බැඳගන්නවා. එයා ඉතින් බලන් උන්නා.

හෙල්මට් එක දාගෙන මිගාන් සත්සිඳුව එයා ගාවට ඇදලා ගත්තම එයත් හරියට හුළඟට වැටෙන පරඬැල් පතක් ගානට එයා ගාවට ඇදිලා ගියා.

" මෙන්න මෙහෙ එන්න අනේ.. හෙල්මට් එක දාන්න.. හාවෙක් වගේ බලන් ඉන්නෙ නිකන් මේකා.. අම්මපා මට මිරිකලා මිරිකලා පොඩි කරන්න හිතෙනවා... "

ගැරඬියා කිව්වෙ සත්සිඳුට හෙල්මට් එක දාන ගමන්.

ඒ හෙල්මට් එක දාලා එයා සත්සිඳු දිහා බලන් උන්නේ නගින්න කියන්න වගේ. ඒත් එයා අර කිව්වත් වගේ හා පැංචෙක් වගේම බලන් උන්නා විතරයි. බයික් එකට නගින්නෙ නැතුව බලන් ඉන්න හුරතලා දිහා බලලා එයා ලොකු හුස්මක් අරන් හොඳට ආමන්ත්‍රණය කරන්න ගත්තා.

" ඈ බොල පත්තරයෝ.. දැන් යන්නෙ නැතුව මෙතන පදිංචි වෙන්නද කල්පනාව..ආ.. පරක්කු වෙනවා බූරුවෝ.. නැගපන් ඉක්මනට... "

එයා කියවගෙන කියවගෙන ගියා. සත්සිඳු ඒ දිහා බලන් උන්නේ මූණ නරක් කරගෙන නෝක්කාඩුවෙන් වගේ .

" නඟිනවා ඉතින්... "

" බෑ... "

" ආ.. මූ යකෝ... "

" ඇයි..? "

" babybabe... උඹගේ පණ්ඩිතකම වැඩියි දැන් හොඳේ... "

" ඔව්, වැඩියි තමා.. ඇයි ඔයා අඩු කරන්නද..? "

එයා කිව්වේ නෝක්කාඩුවෙන් වගේමයි.

ගැරඬියා එහෙම්මම වට පිට බැලුවේ ළඟ පාතක කවුරු හරි ඉන්නවද කියලා. ඒත් කවුරුවත් ඒ ඉසව්වෙ නම් නෑ. එයා ඊළඟ හෙමින් සැරේ රහසින් වගේ කොඳුරපු වචන ටිකත් එක්ක සත්සිඳුට හිනාවක් පැන්නේ මිගාන්වත් හිනස්සවන ගමන්මයි.

" අඩු කරනවා.. අර එදා කිව්වත් වගේ මෙතන බිත්ති හතරක් බැඳලා ඇඳකුත් දාලා දුන්න නම්..... "

එයාට හිනාව නතර කර ගන්න බෑ. ඉවක් බවක් නැතුව ඔහේ හිනා වෙනවා. මිගානුත් හිනා වෙවීම බලන් උන්නේ එයා දිහා.

හිනාවේ නැවතීමක් නෑ. මොකද ඒ කිව්ව කතාවට හිනා නොවී ඉන්න එයාට නම් පුළුවන්කමක් නෑ.

" අම්මෝ.. අම්මෝ.. මට බෑ.. දෙයියනේ.. අහ් අයියෝ.. බඩත් රිදෙනවා.. අම්මෝ.. මොනාද මේ කියවන්නේ.. බුදු දෙයියනේ... "

එයා බඩත් අල්ලගෙන හිනා වෙද්දි මිගානුත් බයික් එකට වෙලා එයා කුලප්පු වෙලා වගේ හිනා වෙන දිහා බලන් උන්නා.

" මේ මේ.. හිනා වෙන්න එපා.. මනුස්සයෝ.. හිනාවෙන්න එපා.. ඒ මේ.. ඉක්මනට එනවා... "

එයා බයික් එකට වෙලාම කියද්දි සත්සිඳු හෙමින් සැරේ ගිහින් එයාගෙ උරහිස් දෙකත් තද කරලා අල්ලගෙන බයික් එකට ගොඩ වුණා.

" අනේ අම්මේ ඉතින්.. මේකට හිනා වෙන්න ගියාම තැනක් නොතැනක් නෑනේ... "

එයා කිව්වෙ බයික් එකට ගොඩ වුණු සත්සිඳු දිහා side mirror එකෙන් බලන ගමන්. ඒ මොහොතේ තිබුණු අඳුරත් එක්ක අර සුදු සඳ එළියෙන් එයා සත්සිඳුගේ මූණ side mirror එකෙන් අඩමානෙට වගේ දැක්කා.

ඒත් එක්කම වගේ දසන් නොපෙන්වා දෙතොල් පෙතිවලින් විතරක් යාන්තමට හිනා වී ගෙනම එයා බයික් එක start කළා. සත්සිඳු උන්නේ එයාගෙ එක් උරහිසකින් අල්ලගෙන අනිත් අතෙන් එයාගෙ බඩින් තද කරලා බදාගෙන.

Start කරපු kawazaki බයික් එකත් හරවගෙන මිගාන් විහාර මාවතෙන් එහෙම්මම පිටත් වුණා. එයා බයික් එක සාමාන්‍ය වේගයකින් අරන් එන ගමන් කොල්ලත් එක්ක හෙමින් සැරේ කතාවට වැටුණා.

" babybabe... "

" සර්... "

" දැන් හිත හොඳටම නිදහස් නේද..? "

" ඔව් සර්.. හොඳටෝම නිදහස්... "

" සතුටුද ඉතින්..? "

" හ්ම්.. ගොඩාක්... "

" එහෙනම් ice cream කමු... "

" දැන්...? "

එයා ඇහුවේ පුදුමෙන් වගේ.

" ඔව්.. ඇයි...? "

" නෑ නෑ. ශෝක්නේ අනේ.... "

" එහෙනම් මහරගම පහු වෙලා යද්දි මඟ නවත්තලා අරන් කමු... "

" හා.. සර් මොනාද ආස..? Vonder corn ද.. vonder bar ද.. "

එයා හුරතලෙන් වගේ ඇහුවා.

" මං නම් vonder corn... "

" ඒ same to me... මාත් එහෙමයි... "

අනේ එහෙමත් සතුටක්. එයා පුදුම වෙලා වගේ එහෙම කියද්දි මිගාන් side mirror එකෙන් හිනා වෙලා එයා දිහා බැලුවා.

" බලන්නකෝ babybabe ඒකෙත් හැටි.. ඔක්කොම same නේහ්... "

එයා ඇහුවේ හිනා වෙවී.

" ඒකනේ ඒකනේ... "

එයා ඉන් පස්සේ එක පාරටම අත් දෙකෙන්ම තද කරලා ගැරඬියගේ බඩ පෙදෙසින් අල්ල ගත්තේ ගැරඬියා නොසිතූ ඇසිල්ලක.

ඒ ස්පර්ශය හරි සැනසීමක් වගේ. එයා ඔහේ බයික් එක ride කරන්න වුනේ සතුටින් ඉපිළ යන හදවතින්. සත්සිඳුගේ විකාර කතා අහගෙන යද්දි වෙනදට දැනෙන පාළු ගතිය දැනෙන්නෙත් නෑ. ඉතින් එයාට හරි සතුටුයි.

මහරගම clock tower එක ගාවින් ඇවිත් highlevel road එකට දාපු බයික් එක එතන ඉඳන් නම් අර ගිනි පිඹින වේගටෙන්ම ඉස්සරහට ඇදෙන්න වුණා. පශ්චාත් ජන්මයත් සිහි කරගෙනම සත්සිඳු ඇස් පියාගෙන ගැරඬියව බදාගත්තේ තවත් තදට. තවත් තුරුළු කර ගන්න ඕනිවට වගේ බයික් එකෙන් ඇරසෝලා කියලා යන එයා හිත අස්සෙන් උන්නෙ හිනා වෙවී.

ඒත් මහරගම පහු වෙලා ටික දුරක් එයා බයික් එකේ වේගය අඩු කරන්න ගත්තා. අසරණයගේ හිතට අනේ කියලා සැනසීමක් ආවේ ඒ මොහොතෙදී .

" ඇයි slow කළේ..? "

එයා එහෙම්මම ඇහුවා.

" ඇයි babybabe ට ice cream එපාද..? "

එයා ඇහුවේ හෙණම romantic තාලෙකින්. එහෙම අහද්දි කවුද එපා කියන්නේ.. එයා හරි ලස්සනට හිනා වෙලා එයාව තව ටිකක් තදට බදාගත්තා.

" අනේ... ඕනි ඕනි.. vonder corn කමු හොඳේ... "

" හා හා යංකෝ... "

එයා එහෙම කියලා ටික දුරක් ගිහින් බයික් එක නතර කළේ super market එකක් ගාවින්. Super market එකේ බයික් park එකෙන් බයික් එක නතර කරලා දෙන්නත් එක්කම ඇතුළට යන්න වුණා. හෙල්මට් දෙක security එකට දීලා සත්සිඳු මිගාන්ගේ අතේ එල්ලී ගෙනම super market එක ඇතුළට ගියා.

" babybabe... "

" ම්... "

" ඔයා මොනාද කන්නේ.. chocolate or vanila...? "

" අම්මෝ most favorite chocolate... "

එයා උත්තර දුන්නේ හිනා වෙවී හුරතල් වෙවී.

" එහෙනම් ඉතින් ඒවා කමු... "

ගැරඬියගේ අතේ එල්ලීගෙනම ගිහින් දෙන්නත් එක්කම චොකලට් flavour වෝන්ඩර් කෝන් දෙකකුත් අරන් super market එකෙන් එළියට ආවා. එළියේ වාහන ඒ මේ අත කොච්චර ගියත් ඒ දෙන්නට නම් නිනව්වක් නැති ගානයි. රෑ තිස්සෙ වීදිවල දැල්වෙන අතොරක් නැති වීදි ලාම්පුවලින් විහිදුවන කහ පාට එළිය.. ඊටත් එහා ගිහින් කඩ සාප්පුවල තියෙන නානාප්‍රකාර බල්බ් එළි.. ඒවා ඔක්කොමත් එක්ක මුහු වෙලා කොළඹ අහස යටට එක්කහු කරලා තිබුණේ පුදුමාකාර තරම් ලස්සනක්.

මද සුළඟක් යාන්තමට ඇඟේ දැවටී ගෙන කොහේටද මන්දා යන්න ගියා. ගැරඬියගේ අතේ එල්ලී ගෙනම ඇවිත් වොන්ඩර් කෝන් එක ගත්ත හැටියෙම සත්සිඳු ඒකේ කවර් එල ගලවලා හෙමින් සැරේ දිව ගාන්න වුණා.

" හරි හරි.. මේ.. දැන් ඔය මගෙ අත අතෑරලා ඕක කාලා ඉන්නකෝ... "

එයා කිව්වෙ හීනියට හිනා වෙන ගමන්.

එයා එහෙම්මම මිගාන්ගේ අත අත් හැරලා දාලා අයිස් ක්‍රීම් එක කන්න වුණේ සුවච කීකරු බලු කුක්කෙක් ගාණට. බලු කුක්කෙක්..! ඔව්, බලු කුක්කෙක් තමයි. වැඩ බලු නොවුණට මොකද පත්තරයාගේ කට බලුයිනේ..

මිගානුත් වොන්ඩර් කෝන් එකේ කවර් එක හෙමීට අයින් කරලා කන්න වුණේ බයික් එකට හේත්තු වෙලා.

" ම්.. රසයි නේද..? "

" ඔව් සර්... "

" තව එකක් කමු.. "

" සෙමනේ මට... "

එයා කිව්වෙ ඇස් දෙකත් හීනි කරන්.

" යකෝ උඹ මරන්න වටිනවනේ.. ඔය සෙමත් තියාගෙනද අයිස් ක්‍රීම් කන්නේ..? "

එයා ඇහුවේ රළු තර්ජනාත්මක හඬකින්.

" හී හී.. ඔව් ඉතින්, මෙව්වා එහෙම ලේසියෙන් නතර කරන්න පුළුවන් පුරුදු නෙවෙයිනේ මහත්තයෝ... "

" ආ හැබෑට... "

ඒත් එක්කම මිගාන් එහෙම කියන ගමන්ම වොන්ඩර් කෝන් එකේ අන්තිම ඩිංගත් එක කටට ගිලලා දැම්මා. ඒත් සත්සිඳු නම් තාමත් මඟ..

" ඈ.....ඔයා ඔය කාලත් ඉවරද..? "

සත්සිඳු පුදුමෙන් වගේ ඇහුවේ ඇස් දෙකත් උඩ දාගෙන.

" ඔව් ඉතින්.. මං ගාව ඔය ලොටපයිස් වැඩ නෑනේ.... "

කොල්ලට ඒත් එක්කම කොහේදෝ තිබ්බ හිනාවක් පැන්නා.

" පුහ්..මොකා.. මොන පයිස්... "

" ලොටපයිස්... ලොටපයිස්... "

"අනේ දෙයියනේ.. කොහෙන් ඉගෙන ගන්න ඒවද මන්දා... "

" කොහෙන්වත් ඉගෙන ගත්තුවා නෙවෙයි අනේ.. ඇයි අහලා නැද්ද ඒ වචනේ... "

" නෑනේ , ඒකනේ ප්‍රශ්නේ... "

" කාරි නෑ සඳ.. ඕක ඉක්මනට කන්නකෝ... "

එයා කිව්වේ තවමත් වොන්ඩර් කෝන් එක කකා ඉන්න සත්සිඳු දිහා බලලා.

ඇත්තමයි, අත්‍යන්තයෙන් ගෙවෙන ඒ මොහොතවල් තුළ එයාලා ජීවත් වුනේම ජීවිතයේ සැබෑ සතුට සොයන ගමන්. පරාර්ථය එක්ක පෙරදැරි වුනු ගැරඬි හිත එයාටත් වඩා එයාගෙ හිත හොරා ගත්තු පුංචි කොල්ලෙක් වෙනුවෙන් ආදරේ කරන්න ගනිද්දී ඒ ජීවිතේ එන්න එන්නම ලස්සන වෙන හැටි එයාට දැනුනා.

කළු රළු ගලක් වගේ වගේ හිතක් සිනිඳුවට මුදුවට මල් පෙත්තක් වගේ සියුම් කළේ ඒ ආදරේ නෙවෙයිද.. ඔව්, ඒ ඒ ආදරේ තමයි.

" හරිද...? "

සත්සිඳු වොන්ඩර් කෝන් එක කාලා ඉවර වෙන තුරුම බයික් එකට වෙලා වාඩි වෙලා බලන් ඉඳලා අවසානයේදි එයා ඇහුවා.

" අම්මේ හලියෝ... "

එයා කිව්වේ දිවත් දික් කරලා.

කට දෙපැත්තේ ගෑවිලා තියෙන අයිස් ක්‍රීම් ටික දැකලා මිගාන්ට එහෙම්මම හිනා ගියත් ආයෙමත් කොල්ලට දුක හිතෙයි කියලා ඒ හිත කිව්ව නිසා එයා ආයෙමත් වතාවක් නොහිතාම එයාගේ දකුණු අතේ දබරැඟිල්ලෙන් ඒ අයිස් ක්‍රීම් ටික පිහ දැම්මා.

සත්සිඳු එයා දිහා අර සුපුරුදු රෝමාන්තික බැල්මෙන්ම වලන් උන්නා. මිගාන් එයා දිහා බලද්දිත් එයා උන්නේ එහෙම්මමයි .

" ඇයි..? "

ඒ ගැරඬියා.

" මොකක්ද..? "

සත්සිඳු ඇහුවා.

" ඔහොම බලන්නේ..? "

" මොකුත් නෑ.. නිකන්... "

එයා වචන දෙක තුනක් අමාරුවෙන් වගේ කිව්වා. හරියට ඕනිවට එපාවට වගේ. ඒත් හිත.. එයාගෙ හිත නම් හරි උනන්දුයි. මිහිරැතිම තැන් ටිකෙන් ටික ජීවිතය කරා ළඟා වෙද්දි කොහොම නම් ලතැවෙන්නද..

" දැන් යමු නේද..? "

ගැරඬියා ඇහුවේ සත්සිඳු දිහා බලලා. එයා හිස සැළුවේ හා කියන්න වගේ.

මිගාන් බයික් එකට ගොඩ වුණාම සත්සිඳු එයා ගාවට ඇවිත් හිට ගත්තේ එයාටත් හෙල්මට් එක දාන්න කියන්න වගේ. මිගාන් එයාගේ හෙල්මට් එක දාගෙන තත්පරයක් දෙකක් විතර එයා දිහා බලන් උන්නේ මොකුත්ම නොකියා.

සත්සිඳු හුරතල් හා පැටියෙක් වගේ හිනා වී ගෙන එයා දිහා බලන් ඉන්නවා. හිත අස්සේ සත්සිඳු ගැන පිරිලා ඉතිරිලා යන්නෙ ලෝභකමක් වගේ හැඟීමක්.. නෑ , ඒක ලෝභකමක්ම නෙවෙයි. ඒ තමයි ආදරේ. අත් හරින්න බැරි ළඟින්ම තියාගන්න තරම් හිත පොපියමින් තියෙන එයාගේ ආදරේ..

" එනවා එනවා.. දාන්න... "

නපුරු ගැරඬියා සත්සිඳුව ළඟට අරන් එයාට හෙල්මට් එක දාලා බයික් එකටත් නග්ග ගත්තා. කලින් සැරේටත් වඩා සත්සිඳු මිගාන්ට සමීප වුණාම මිගාන් ආයෙමත් වතාවක් බැලුවේ dide mirror එකෙන් එළිය වෙලා පේන එයාගේ මූණ දිහා.

බයික් එකත් start කරගෙන මිගාන් පුරුදු සුපුරුදු වේගයෙන්ම පන්නිපිටිය බලා ඉගිලෙන්න වුණා. සත්සිඳු උන්නේ එක අතක් බයික් එක ride කරන මිගාන්ගේ කිහිල්ලට යටින් යවලා එයාගේ පපුව ස්පර්ශ කරන්. අනිත් අත උරහිස උඩින් යවලා තද කරලා අල්ලගෙන. එයාගෙ නිකට තිබුණේ මිගාන්ගේ අනිත් උරහිස මත.

ඇත්තමයි, දැන් දැන් නොකියාම වුණත් මිගාන් ගැන ඒ හිත අස්සෙ තියෙන අනන්ත අප්‍රමාණ වුණු හැඟීම් සමුදාය එයාටත් නොදැනිම එයා තුළින් විදහා දැක්වෙන ගමන්. එයාට ඒ ගැන තේරුමක් නෑ. ඔහේ හිත කියන දේ කරනවා හැරෙන්න එයාට වෙන කිසි දෙයක් හරියාකාරව වැටහුණේ නෑ.

ඒත්.. ඒත් එයා උන්නේ මිගාන්ට ගොඩාක් සමීප වෙලා. ගොඩාක්... මිගාන්ගේ හිත එයා ගාවින්ම රැඳිලා තියෙන්න තරම් බලවත් විදිහට එයා අර නපුරුම නපුරු ගැරඬියට සමීප වෙලා උන්නා.

" සර්... "

" ම්... "

" සින්දුවක් කියන්නකෝ... "

" සින්දුවක්...! "

" හ්ම්.. පුංචි පද ටිකක්... "

සීතල සුළඟ කපාගෙන ඉස්සරහට ඇදෙන බයික් එකේ යන ගමන් කළුවරත් ආලෝකයත් එක්ක එයාලා දෙන්නා හරි හරියට මුහු වුණා. පුංචි කොල්ලගේ ඉල්ලීමක් අහක දාන්න තරම් ගැරඬි හිත කුහක නෑ. එයා ආදරෙයිනේ ඉතින්..

එයා සීතල සුළඟත් එක්ක එයාගේ ප්‍රේමණීයම රෝමාන්තික හඬ මුහු කළා.

" මේ බැඳුණු සෙනේ

කෙදිනද මා පවසන්නේ

ආදරිය කියා

කෙලෙසද මා අමතන්නේ

අපේ ලොවේ

කෙදිනද අප තනිවෙන්නේ...

රෑ සිහිනෙන්

ඔබ ළඟ මා සැනසෙනවා

මා සැබැවින්

ඔබ ගැන සිත ලතැවෙනවා... "

පාළු නිම්නයට හුදෙකලාවෙන් මිදෙන්න එක්කාසු වෙච්චි වෙස් වලා ගත් ආශිර්වාදයක් වගේ ඒ හඬේ ස්වර මද සුළඟත් එක්ක මුහු වුණා.

සත්සිඳු ඒ ස්වරයන්ට සවන් යොමු කළේ හිතේ ඉතිරෙන අර අමුතු හැඟීම තව තවත් පිරිලා ඉතිරිලා යද්දි. එයා ඒ හඬට වශී වෙලා වගේ උන්නා. ඇත්තමයි, එයාට දැනුනේ හරියට හරිත පැහැ නිම්නයක ඒ දෙහිතේ අයිතිකරුවන් විතරක්ම තනි වෙලා ඉන්නවා වගේ. ඔව්, ඒ නිමේෂය හරි රෝමාන්තිකයි. වචනවලින් කියන්න බැරි තරම් ප්‍රේමණීයයි.

" ලස්සනයි... "

එයා ගැරඬියගේ කන් පෙත්තක් ගාවට තොල් අරන් ගිහින් යාන්තමට මිමිණුවා. Full face හෙල්මට් දාලා උන්නට මොකද එයා කියන , මුමුණන පද හොඳට ඇහෙනවා.

" ම්හ්.. ලස්සන නෑ... "

එයා කිව්වේ බිඳුණු හඬකින්.

" ඇයි සර්.. ඇයි ඒක අවුලෙන් වගේ කිව්වෙ..? "

" ඒ මං දරුවෝ.. ඒ මගේ හිත.. ඔයා වෙනුවෙන් අනේක වාරයක් තැවෙන මගේ හිත.. දන්නවද, යාළුවෙක් වගේ උඹ බං කියාගෙන ජොලියේ හිටියට මගේ හිත ඇවිළෙනවා.. ඒ ඔයා නිසා.. ඔයා මට නැති වෙලා යයි කියන බය නිසා.. අනේ මාව තනි කරන්න එපා මගෙ දරුවෝ.. මං නපුරු වුනාට, දරදඬු වුනාට මට කවදාවත්ම ඒ දුක නම් දරාගන්න බැරි වෙයි.. උඹ බං කියලා කුණුහරුප කියාගෙන ඔයත් එක්ක මෙහෙම යාළුවෙක් වගේ ඉන්නෙ හැම තිස්සෙම ආදරෙයි ආදරෙයි කියලා එකම බණේ කියන්න ගිහින් මට ඔයාව අහිමි කරගන්න ඕනි නැති හින්දා.. මට බයයි.. මට බයයි මගෙ දරුවෝ ඔයා මගෙන් ඈත් වෙයි කියලා.. ජීවිතේ පළවෙනිම වතාවට මගෙ හිතට මෙච්චර බයක් දැනෙන්නේ.. මගෙ හිත ඇවිලෙනවා..තාමත් ඇවිලෙනවා.. ඒත් ඔයාට තේරෙනවද නැද්ද කියන්න මං දන්නෑ දරුවෝ.. මට ඕනි මගේ babybabe එක්ක ලස්සනට ජීවත් වෙන්න විතරමයි.. ඔය හිතට ආදරේ කරන්න.. ඔයා ගාව හුරතල් වෙන්න.. ඔයාව මගේ පපුවට තුරුළු කර ගන්න.. surrogacy කරලා හරි පුංචි පුතු පැටියෙක් හදාගෙන ඔයත් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න.. ඔයා දන්නවනේ, පුංචි පවුල රත්තරන් කියලා.. මට ඕනි අන්න එහෙම පවුලක්.. ඔයයි , මායි , අපේ පුංචි කොලු පැංචයි.. අපි තුන්දෙනා.. දවසක අපේ මුළු ගෙදරම අපේ දරු පැටියගේ හිනාවෙන් පිරිලා ඉතිරිලා යන්න මගෙ දරුවෝ.. මං කියවන ඒවා හැමදෙයක්ම මගේ හිත අස්සෙ තියෙන බලාපොරොත්තු.. ඒවා හීන නෙවෙයි , ඒවා බලාපොරොත්තු... "

එයා කියවගෙන ගියේ සත්සිඳු ඔහේ අහන් ඉද්දි. එයා මිගාන් කියන හැමදෙයක්ම වචනයක් වචනයක් නෑරම අහන් උන්නා . නිකන්ම නෙවෙයි ,හිත අස්සෙ කියාගන්න බැරිව ගොළු වුණත් මහ මෙරක් තරම් විසල් ආදරයක් උතුරන් යද්දී..

" මගෙ වතුසුදු මල , ඔයා මං ගාව හරි ලස්සනට පරිස්සමට පිපිලා තියෙන්න ඕනි මගේ දරුවෝ... "

එයා අර මියුරු පදවැල් සුළඟේ ස්වර එක්ක මුහු කරලා අවසානයේ කතා කරන්න ගත්තු තැන ඉඳලම බයික් එක අරන් ආවේ මන්දගාමීව. ඒ slow එකේම ආව බයික් එක එයා මොහොතකට අයිනකට කරලා නතර කළා.

" ඇයි සර්..? "

ඒ අඳුරු හුදෙකලා තැනදී හිතට දැනුනු බියත් එක්ක ආව සිතුවිලි ඔක්කොම හංගගෙන වුනත් එයා ඇහුවේ බයෙන්ම තමයි.

මිගාන් එයා දාගෙන ආව full face හෙල්මට් එක මොහොතකට ගලවලා අයින් කළා. සත්සිඳු ඇහිපිල්ලමක්වත් නොගසාම බලන් උන්නෙ එයා දිහා. දෙයියනේ..! එයාගෙ ඇස්වල කඳුළු.. full face හෙල්මට් දාලා නිසා එයා කියන ඒවා ඇහුණ මුත් එයාගෙ මූණ හරියට පේන්නෙ නෑනේ.

මෙච්චර වෙලාවක් එයා කියව කියව ආව හැමදෙයක්ම එයා කිව්වෙ බිඳුණු හඬකින් තමයි. ඒත් කවුද හිතන්නෙ එයාට ඇඬෙයි කියලා. ඒ තරම් දඩබ්බර කොල්ලෙක්ට..

ඇයි , ඒ වගේ දඩබ්බරයෙක්ට අඬන්න තහනම් ද.. මතුපිටින් දඩබ්බර හිතුවක්කාරයෙක් වුනාට මොකද එයා හිත අස්සෙන් මුදු සිනිඳු සුසිනිඳු මල් පෙත්තක්..

" අනේ..! ඇයි මේ කඳුළු..? "

" ඒ සතුටට.. මේ හැම කඳුළු බිංදුවක්ම සතුටට babybabe.. ඔයා මාත් එක්ක මේ ගෙවන හැම තත්පරයක්ම මට මහමෙරක් මගේ දරුවෝ... "

එයා එහෙන කියද්දි සත්සිඳුට වුනත් එයාගෙ හිත නාඬා තියාගන්න නම් බෑ. එයාටත් ඇඬෙන්න ආවා. එයාගෙත් ඇස් බොඳ වුණා. එයා එහෙම්මම ඒ ඇස් පියාගත්තම අර කඳුළු බිඳු එයාගෙ කොපුල් තල දිගේ පහළට ගලාගෙන ගියා.

මිගාන් එහෙම්මම හෙල්මට් එකත් දාගෙන ආයෙමත් බයික් එක start කරගෙන ආව සුපුරුදු වේගයටම ඉගිලෙන්න වුණා. පන්නිපිටියට ඇවිත් ශ්‍රී සුමංගල මාවතට වැටුණු බයික් එක ඒ පාර දිගේ ඉස්සරහටම ඇදුණා. ඒ මොහොත තුළ ඉඳන් ඒ දෙන්නා අතරේ එකම එක වචනයක්වත් හුවමාරු නොවුණු තරම්..

බෝඩිම ගාවින් නතර වුණු බයික් එකෙන් එයා බැස්සෙ නෑ. එයා අමාරුවෙන් වගේ වුනත් හෙල්මට් එක ගලවලා මිගාන්ගේ අතට දුන්නා. එයා එයාගෙ අතක ඒ හෙල්මට් එක එල්ල ගත්තා.

සත්සිඳු මිගාන්ගේ උරහිස් දෙකට බර වෙලා හෙමින් සීරුවේ බයික් එකෙන් බැස්සාම මිගානුත් එයා දාගෙන උන්නු full face හෙල්මට් එක ගලවලා අයින් කළා. එයා ඇඬුවද.. මූණේ එහෙම පෙනුමක්වත් නෑනේ . එයා උන්නේ හිනා වී ගෙනමයි.

" babybabe , පරිස්සමින්‍ යන්න එහෙනම්.. උදේට මං එන්නම් අර අපේ පුරුදු නවාතැනට... "

" නවාතැන...! "

" අර නුග ගහ දරුවෝ... "

" අනේ ඉතින්... "

" එහෙනම් පරිස්සමින්.. හරිද..? "

එයා හරි අවිහිංසක විදිහට ප්‍රසන්න බැල්මකින් කිව්වා.

" ඔයත් පරිස්සමින් සර්.. මං යන්නම්.. good night... "

" Good night මගෙ දරුවෝ... "

එයා හිනා වෙලා යන්නයි හැරුණේ. ඒත් මිගාන්.. එයා එහෙම්මම ඒ අඩ අඳුර මැද්දෙන් සත්සිඳුගේ අතකින් ඇදලා එයා ගාවට ගත්තා. එහෙම දෙයක් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවුණු සත්සිඳු එයා ගාවට එහෙම්මම ඇදිලා ආවා.

දැන් සත්සිඳුගේ එක අතක් බයික් එක අල්ලගෙන.අනිත් අත ගැරඬියගේ පපුවේ. ඒ දෙන්නගේ ඇස් එකිනෙක පැටළිලා. අවිනිශ්චිත දුරක් එක්ක හුරුපුරුදු ඒත් නුහුරු සමීපත්වයකින් ළං වෙලා ඉන්න ඒ දෙන්නගේ හුස්මත් එයාලට දැනෙනවා.

" babybabe... "

ඒ ඇස් දිහා බලන් මිගාන් කතා කලේ රහසින් වගේ. ඒ හඬේ තිබුණේ රෝමාන්තික ප්‍රේමාන්විත භාවයක්.

" ස්..සර්... "

ඒ ඇස් එක්ක පැටලිලාම එයත් කතා කළා.

" අද මගේ birthday එක.. කෝ මගේ gift එක... "

" ස්..සර්... "

" ම්... "

" ම්..මොකක්ද..gift එක... "

ඒත් එක්කම වගේ මිගාන් සත්සිඳුගේ දෙකම්මුලම එයාගේ අත් දෙකින් අල්ලගෙන ඒ අහිංසක පෙනුමැති මූණ දෝතටම ගත්තා. සත්සිඳුගේ ඇස් පියවුණේ මිගාන් එහෙම්මම එයාගේ මූණ දිහාවට එන්න එන්න නැඹුරු වෙනවා දැනෙද්දි. අවිනිශ්චිතයි ඒ තත්පර.. ඊළඟ තත්පරය වෙද්දිම එයාට දැනුනේ එයාගෙ දෙතොල් පෙති එක්ක මුදුවට වගේ ගැටෙන මිගාන්ගේ රැවුලේ කිතිය.. ඒත් එක්කම ඒ තත්පරය ගෙවෙන්නත් ඉස්සර එයාගෙ දෙතොල් කොහේදෝ හිර වුණේ එයා උණුසුම් සුසුමක් පිට කරන ඇසිල්ලෙමයි.

මීළඟ කොටසට ...

More Chapters