Ficool

Chapter 34 - 34

" නෑ ඩිනෝ.. මට.. මට අපාර්ට්මන්ට් ඕනි නෑ... අනේ.. අනේ ප්ලීස් මට.. මට ඔයා ගාවට වෙලා ඉන්න දෙන්න... ප්ලීස් ඩිනෝ.... "

ක්ලෙයාරා කිව්වේ ඉකිබිඳින ගමන්. ඒත් ගැරඬියට ක්ලෙයාරාව එයාගේ ගෙදර නවත්ත ගන්න තරම් හිතක් නෑ.

" සොරි ක්ලෙයාරා.. ඔයා දන්නවනේ මේ ගෙදර situation එක.. එහෙම තියෙද්දිත් කොහොමද මං ඔයාව මෙහේ නවත්තගන්නේ.. please මේක තේරුම් ගන්න.. ඔයා බය වෙන්න එපා ක්ලෙයාරා... ඔයාට full safety එක දෙනවා මං.. ඒ නිසා දැන් හොඳ ළමයා වගේ නුගේගොඩ appartement එකට යන්න ලෑස්ති වෙන්න... "

එයා කිව්වෙ එච්චරමයි . එහෙම්මම එතනින් නැඟිටපු එයා ක්ලෙයාරා දිහා ආයෙමත් වතාවක් බලයි කියලා හිතුවත් එයා ක්ලෙයාරා දිහා නොබලාම පඩිපෙළ නඟින්න වුණා. ක්ලෙයාරාගේ ඉකිබිඳීම වැඩි වුණෙත් ඒත් එක්කමයි .

" මැඩම්... "

ජේකබ් කතා කළේ ඉකි බිඳින ක්ලෙයාරා ගාවට ඇවිත්. ක්ලෙයාරා යාන්තමට වගේ හිස ඔසවලා ජේකබ් දිහා බැලුවා.

" අපි යමු මැඩම්... මැඩම්ගේ ඇඳුම් එහෙම ඔක්කොම පොලීසියෙන් අරන් ආවනේ.. ගෙදර key එක දැනට පොලීසිය භාරේ තියෙන්නේ... මැඩම් appartement එකෙන් එන දවසක key එක පොලීසියෙන් ගන්න පුළුවන්... "

ජේකබ් කියවන දිහා ක්ලෙයාරා යාන්තමට ඇස් කොණකින් වගේ බලන් උන්නා. බලනවටත් වඩා එයාගේ සවන් පත් ජේකබ්ගේ කතාවට හරි හරියට යොමු වෙලයි තිබුණේ.

පඩිපෙළ නැඟගෙන එයාගේ කාමරයට ගියපු මිගාන් එහෙම්මම ඇඳට වැටිලා ඇස් යොමු කළේ සිවිලිම දිහාවට. උණුසුමක් නැති වුණත් නිස්කාරණේ කැරකෙන විදුලි පංකාව දිහා එයාගේ ඇස් දෙක යොමු වෙලා තිබුණත් එයාගේ හිත තිබුණේ නම් වෙන තැනක.

ඒ සත්සිඳු ගාව. සත්සිඳු හැරෙන්න වෙන යමක් නම් එයාගේ හිතේ කොණකවත් නැති තරම්. ක්ලෙයාරාගේ සිද්ධියත් එක්ක උදේ කොල්ලව බලන්න යන්නත් බැරි වුණ නිසා මිගාන් උන්නේ හිතේ කණගාටුවෙන්. කරන්න දැන් නම් දෙයක් ඉතුරු වෙලා නෑ. එයා එහෙම්මම විනාඩි දහයක් විතර යනතුරුම බලන් උන්නේ සිවිලිමේ එල්ලී ගෙන කැරකෙන විදුලි පංකාව දිහා. ඒ මිනිත්තු දහය ඉක්මවා යද්දි එයාට ඇහුණේ පල්ලෙහායින් ජීප් එක හරවගෙන පාරට දාන සද්දේ. ඒත් එක්කම වගේ එයා බැල්කනි එකට දුවලා ගිහින් පහළ බලද්දි දැක්කේ ජීප් එක හරවගෙන පාර දිගේ ඇදෙන හැටි.

කොල්ලා ලොකු හුස්මක් අරන් පිට කළේ ලොකු කරදරයකින් නිදහස් වුණා වගේ හැඟීමක් එක්ක. මොකද ඒ ජීප් එකේ යන්න ගියේ ක්ලෙයාරා තොම්සන්. නුගේගොඩ appartement එකට ජේකබ් එක්ක එයාව යැව්වේ තවත් නින්ජලා දෙන්නෙක් එක්ක.

ඈත ඇදෙන ජීප් එක දිහා කොල්ලා බලන් ඉඳලා ඇස් මානයෙන් ජීප් එක ඈත් වෙනතුරු බලන් ඉඳපු මිගාන් හිනා වී ගෙනම ඇවිත් ආයෙමත් උඩුබැලි අතට ඇඳට වැටිලා සිවිලිම දිහා බලාගෙනම ඉන්න වුණා.

දැන් නම් ආයෙමත් හිත නිදහස්. ආධ්‍යාත්මික සුවයක් වගේ හිත සුවපත් කරවන සිතුවිලි ගොඩකින් පිරුණු එයාගේ හිත දැන් නම් ඕනිවටත් වඩා නිදහස්. ඒත් අර අහිංසකයාගේ ඇස් දෙක මතක් වෙද්දි නම් ආධ්‍යාත්මය කෙසේ වෙතත් ආදරණීයම සිතුවිලි ගොඩක් නම් ඒ හිතේ පිරෙනවා.

දැන් නම් එයාට යන්න ඕනි වෙලා තිබුණේ ජිම් එකට. මොකද ඇඟේ හැඩය පවත්වාගන්න ජිම් යන එක කොල්ලා කරන්නේ අවුරුදු දෙකක විතර ඉඳන්. ඒ වෙද්දිත් උසට සරිලන දේහයට හරියටම ගැලපෙන තාලෙට මස්පිඬු කැපිලා හැදිලා තිබුණත් ශරීර සෞඛ්‍යය තවත් වැදගත් වෙන නිසා එයා ජිම් යන එක නම් නවත්වන්නේ නෑ.

Bathroom එකට ගියපු ගැරඬියා විනාඩි දහයක් විතර යද්දි මූණ අත පය සෝදගෙන ඇවිත් ඇඳුම් ටික change කර ගත්තා . කළු පාට jym short එකට කළු පාට fit t shirt එකක් ඇඳලා sports shoes දෙකකුත් දාගෙන කොල්ලා කාමරෙන් එළියට බැස්සේ බයික් එකේ key එකයි, full face හෙල්මට් එකයි අරගෙනමයි.

" සර්.. යන්නද ...? "

කොල්ලා පඩිපෙළ බහිද්දිම වගේ බාබු අන්කල් living room එක අතු ගගා ඉන්න ගමන් ඇහුවා.

" ඔව් බාබු අන්කල්.. මං ජිම් එකට ගිහින් එන්න කියලා... කොහොමත් දෙක.. දෙක හමාර වෙද්දි වගේ මං එනවා..... "

කොල්ලා එහෙම කියාගෙනම බාබු අන්කල් ගාවින් එළියට යන්න පිටත් වෙද්දි බාබු අන්කල් සුපුරුදු විදිහටම එයාගේ ආශිර්වාදය එකතු කළා .

" බුදු සරණයි සර්... පරිස්සමින්... "

එහෙම කියලා කොල්ලා බයික් එකත් start කරන් යනතුරුම වගේ බාබු අන්කල් ඔහේ බලන් උන්නා.

ගිනි වේගයෙන් ඇදෙන kawazaki bike එක දිහා පාරේ යන මිනිස්සූ බලන්නේ හරියට අරුම පුදුම සතෙක් දිහා බලන්න වගේ. කොල්ලෝ බයික් එක දිහා බැලුවට මොකද ගොඩක් කෙල්ලො නම් බලන්නේ bike එක ride කරන හැන්ඩියා දිහා. හරියට මූණක් කටක් පේන්නෙ නැත්තේ full face හෙල්මට් එක දාලා නිසා. ජිම් එක ගාවින් නතර වුණු බයික් එකෙන් බැහැපු එයා ජිම් එක ඇතුළට ගිහින් exercise කරන්න වුණේ වෙනදටත් වඩා උද්‍යෝගිමත් භාවයක් එක්ක . ඒ හිතෙත් ගතෙත් ඇති වෙලා තිබුණු අරුම පුදුම වෙනස නම් එයාටත් දැන් දැන් හොඳටම තේරෙන්න අරන්.

දවල් දොළහත් වෙලා සත්සිඳු tea time එකේදී කාපු බර්ෆි කෑලි දෙක පිටින් තවමත් උන්නා. බර්ෆි කෑලි දෙකක් කාලා එයා කහට කෝප්පයක් බිව්වේ බඩගින්න කියන යකාට ටටා බායි කියලා. දවල් කෑම වෙලාව ඇවිල්ලා තිබුණත් එයාට කන්න පිරියක් නම් තිබුණේ නෑ. ඒත් නොකා නොබී ඉඳලා ගැස්ට්‍රයිටිස් හදාගෙන නහිනවට වඩා කෑම ටිකක් අප්පිරියාවෙන් හරි කන එක හොඳයි කියලා තේරුම් ගත්තු එයා කෑම එකත් අරගෙනම කට්ටිය කන තැනට ගියා.

පරිප්පු තෙල් දාලා හදලා තිබ්බ නිසා යාන්තමට බඩ පිරෙන්න බත් කටවල් හතරක් නැත්නම් පහක් බොහොම අමාරුවෙන් ගිලලා දාලා ඉතුරු වෙච්චි බත් ටිකත් ඔතලා dustbin එකට දාපු කොල්ලා අතත් සෝදගෙන ආයෙමත් එයාගෙ කැබින් එකට ඇවිත් වාඩි වුණා.

බෑග් එක ඇරලා එයාගෙ වතුර බෝතලේ අරන් වතුර උගුරු දෙක තුනකුත් බීලා එයා ආයෙමත් සුදු පාට කොළයක් අරන් නිල් පෑනකින් කටු ගාන්න වුණා. සුදු කොළය මත අඳින්නේ මොන ජාතියක කුරුටුබලියක්ද මන්දා. ඒක හරියට චක්‍රාවාටයකුත් නොවන කළු කුහරයක් වගේ.

මේ ලෝකේ තේරුමක් නැති කුරුටුබලියක් ඇඳලා සුදු පාට කොළය පුරවපු කොල්ලා එහෙම්මම ඒ කොළය පොඩි කරලා බිමට විසි කළේ කේන්තියෙන්. කල්පනාව දස අත විසිරිලා ගිහින්.හිත එක තැනක ඇත්තෙම නෑ. එයා ආවෙ නැත්තේ ඇයි කියලා එයාගෙ හිත මොහොතක් මොහොතක් ගානේ තත්පරෙන් තත්පරේට විමසනකොට දරාගන්නම බැරි තරම් .

හිත කරන්නේ වැරැද්දක් බව දැන දැන වුණත් එච්චරටම ලස්සන හදවතක් තියෙන ආදරණීයම පිරිමි ආත්මයක් අත් හැරලා දාන්න තරම් එයාගේ හිත ඉඩ දෙන්නෙ නෑ. අතීතය තුළ මොන මොන විදිහේ වැරදි කළ කෙනෙක් වුණත් එයා ගැන අහිතක් හිතන්න තරම් කොල්ලගේ හිත ඉඩ දෙන්නෙ නෑ.

අවසිහියෙන් වගේ ලතැවුණු හිතට පුංචි විරාමයක් දෙන්න ඕනි වෙලා එයා ආයෙමත් පියවි සිහියට ඇවිත් මේ ලෝකය තුළ ජීවත් වෙන්න වුණා. මොහොතින් මොහොත කල්පනාව බිඳෙන්න යන හැම විටකම වගේ මතකයට නැඟෙන්නේ අහස තරම් උසට තිබුණු වැඩ කන්දරාව. ආර්ටිකල් නම් කීයක් කියලා ලියන්නද.

විස්තර , තොරතුරු ඔක්කොම ටික එයා ඉස්සරහා පිට තියෙනවා. Lap top එකේ screen එකේ තියෙන ඒ විස්තර ඔක්කොම ටික සුදු කොළ ටිකේ සවිස්තරාත්මකව ලියන්න වෙලා. ඊට පස්සෙ ආයෙමත් ඒ ටික පරිඝනකගත කරන්න තියෙනවා. ලොක්කට ඕනි කරලා තියෙන්නේ මුළු daily lanka newspaper එකම කොල්ලටම කියලා ලියවගන්නද කොහෙද.

" මොකෝ කොල්ලෝ.. වැඩ ටික හරිද... ?"

ලොක්කා ඇහුවේ කැබින් එකට ඔළුව දාන ගමන්.

මේක හරි වැඩක් වුණානේ යකෝ. කොල්ලා කාලා ආවා විතරයි වැඩ ටික හරිද අහනවා. ලොක්කයි කොල්ලයි අයියයි මල්ලියි වගේ නොවෙන්න මෙලහකටත් කොල්ලා ලොක්කගේ හොම්බයි කටයි දෙකම බොම්බයි මොටයි කරලා. මොකද ඒ තරමටම දීලා තියෙන රාජකාරි කොටසත් එක්ක කොල්ලට දැනෙන පීඩනය දරාගන්න හරි අමාරුයි.

" තාම නෑ සර්... "

කොල්ලා යාන්තමට වගේ හිනා වෙලා කියලා ආයෙමත් සුදු පාට කොළයක් අරන් මොන මොනවදෝ ලියන්න ගත්තා.

" ඉක්මනට ඔය ටික කරපන් මයෙ පුතේ.. ඔය ටික දුන්නේ හෙට පත්තරේට මිසක් මාසික සඟරාවට ගහන්න නෙවෙයි පුතේ.. ඉතින් මයෙ අම්මා ඉක්මන් කරපන් ඈ... "

ලොක්කා එහෙම කියාගෙනම එතනින් පිටවෙද්දි නම් කොල්ලට මල යකා ආරූඪ වෙන්න ගත්තා.

" මූ නම් කියයි.. මුට මොකද.. ගල් අපතයා.. තලන්න ඕනි බිජු දෙක.. ඇයි යකෝ, මූ හිතන් ඉන්නේ මං කතරගම දෙයියෝ කියලද දන්නෑ.. රෙද්ද... සත්සිඳු අරක කරපන්.. සත්සිඳු මේක කරපන්.. එයා එතන ඉඳන් උපදෙස් දුන්නට මං එපැයි තනි අත් දෙකෙන් මේ හැම රෙද්දම කරන්න... යැයි යැයි තමා..... "

කොල්ලා තනියම මුමුණන්න වුණේ සුදු කොළේ ලියාගත්තු වචන පේළියක්ම දිගට හරහට පෑන් ඉරිවලින් කපලා දාන ගමන්.

ඉස්පාසුවක් නැතුව තත්පර එක්ක ගත කරන හිතට නම් විවේකයක් ඇත්තෙම නෑ. කාලයත් එක්ක සටන් කරන පෙරළිකාර අශ්වයෙක්ගේ ආදරේකට හිතක් මෙච්චර වේගයෙන් සසල කරවන්න පුළුවන්ද. එක අතකට ඇයි එහෙම බැරි. ඒ හදවත ගැහෙන්නේ අර කියන වේගයෙන්මයි . කාලයේ අසීමාන්තික අවකාශය පුරාවටම ඒ හිත ඔහේ ඇවිදින්නේ හරි හමන් මාවතක් ගැන නොදැන. ඒ සංචාරයට හරියට ගමන් කරන්න තරම් නිශ්චිත මාර්ගයක් නැති නමුත් අසරුවෙක් නැතුව සල්ලාලකම් කරන පෙරළිකාර කාලනිර්භය අශ්වයෙකුට ආදරේ කරන්න තරම් ඒ හිත එක්තැන් වෙලා. ඒ අවතැන් වීමක් නෙවෙයි, ඒ එක්තැන් වීමක්.. හදවත එක තැනක නතර වීමක්..

හිරු මුදුන් වෙලා ටිකෙන් ටික අපරදිග අහස් යොමුවට ගමන් කරන ගමන් තිබුණේ. වෙලාව හරියටම හවස දෙක වෙන්න මිනිත්තු දහයක් විතරක් තිබුණා. වෙලාව හවස 1.50 යි..

ගැරඬියා ගොඩ වෙලාවක් ජිම් එකට වෙලා workout කරලා changing room එකට ගිහින් තෙත ටවල් එකකින් දාඩියත් පිහදා ගෙනම ජිම් එකෙන් එළියට බැස්සා. ඒ වෙද්දි නම් වෙලාව දෙක වෙලා..

කොල්ලා එයාගෙ බයික් එකට ගොඩ වෙලා ගෙදර දිහාවට පියාඹන්න වුණේ wash එකකුත් දාගෙන අර සුපුරුදු නුග ගහ යටට වෙලා අර අහිංසකයා එනතුරු බලන් ඉන්න ඕනි නිසා. උදේ ක්ලෙයාරාගේ සිද්ධියත් එක්ක එයාව බලන්න බැරි වුණු එක ගැන කොල්ලට තිබුණේ ලොකු කණගාටුවක්.

කලින් දවසේ රෑ සිද්ධ වෙච්චි දේවල් එක්ක නම් අනිවාර්යයෙන්ම එයා එනතුරු සමහර විට සත්සිඳු ඒ නුග ගහ යට හෙවණට වෙලා බලන් ඉන්න ඇති කියලත් ගැරඬියට හිතුණා. අනේ එච්චර දෙයක් රෑ සිද්ධ වෙලත් අද උදේ කොල්ලව බලන් නොගිහින් හිටියම එයාට කොච්චර දුක හිතෙන්න ඇත්ද කියන කාරණය එයාට දැනෙන්න වුණේ ගිනි මකරෙක් ගිනි පිඹින්න තරම් වේගයෙන් bike එක ride කරන අතරතුරේදී.. ඒ වරදකාරී හැඟීමත් එක්ක එයාගෙ හිත ලතැවෙද්දි නම් එයාගේ හිතට ඉස්පාසුවක් නෑ. ඔය ඔක්කොම දේවල් මතක් වෙද්දි ඉක්මනින් එයාව දකින්න හිත කලබල කරනවා වැඩි හින්දම ආපු වේගය තව ටිකක් වැඩි කරලා ගැරඬියා බයික් එක ලෑල්ලට පාගන්න වුණා.

කටු කොළවල ලිය ලියා කප කපා කොට කොටා ලියපු ආර්ටිකල් පහළොවක්ම laptop එකේ ටයිප් කරපු කොල්ලා දහසයවෙනි ආර්ටිකල් එකටත් අත තිබ්බා. කාලය කොහොමද කියනවා නම් එයා ආර්ටිකල් එක අතට ගත්තෙත්, අරයා බයික් එකෙන් ගෙදර වත්තට ආවෙත් එකම වෙලාවකදී.. ඒ වෙද්දි වෙලාව හවස 2.30 යි.

උදේ හිට ලියලා ලියලා ටයිප් කරලා ඇඟිලි ටික ඔක්කොම හිරි වැටිලා. ඔළුවත් එක තැනක නැතිකොට මේ වගේ වෙලාවක ලියන ආර්ටිකල් එකක් දෙතුන් වතාවක් නෙවෙයි හතර පස් වතාවක්ම කපන්න කොටන්න වෙන එක ආයෙ අහන්නත් දෙයක්ද. සමහරක් තැන්වල් හයහත් පාරක්ම කපපු කොටපු අවස්ථාත් නැතුවම නෙවෙයි.

ඒ මොහොතවල් හරියට කොල්ලට දැනෙන්නෙම අවන්හලක බී මත් වුණු පිරිමියෙක්ගේ කතාවකට සවන් දෙනවා වගේ. කියන කරන දේ ගැන හරියට තේරුමක් නැතුව ඔහේ නිස්කාරණයේ දොඩවනවා හැරෙන්න බීමත් මනුස්සයෙක්ගෙන් මොනා බලාපොරොත්තු වෙන්නද. ළඟින් එන වයින් හෝ බියර් සුවඳක් මිස ප්‍රාර්ථනා කරන ගාඩ්නියා මල් සුවඳක් කොයින්ද. එයා ලිව්ව ආර්ටිකල් ටිකත් හරියට බීපු මනුස්සයෙක් එක්ක කරන කතා බහක් වගේ. කිසිම තේරුමක් නැතුව කප කපා කොට කොටා කොච්චර ආර්ටිකල් තොගයක් ලිව්වත් ආයෙමත් මොහොතක් යන්න ඉස්සර ඒ කොළය ගුලි කරලා විසි කරන ඒ අපභ්‍රංශ ආර්ටිකල් කිහිපයට බී මත් වුණු මනුස්සයෙක්ගේ කතා බහක් උපමා නොකර වෙන කුමක් නම් උපමා කරන්නද.

මායාකාරී වලාකුළකයි , සුන්දර අහසකයි අතර තියෙන බැඳියාව තරම්ම ඒ හිත් හරි අපූරුවට බැඳෙන ගමන්.. ඒ මොහොතවල් විස්තර කරන්න තරම් වචන පවා නැති තරම් මේ විශ්වයත් ගොළු වෙලා වගේ. ලැවෙන්ඩර් මල් පෙත්තක සිනිඳු බව තැවරුණු හදවතක් ළඟ ඇට්ලස් කඳු දැවැන්තයා වුණත් දියාරු වෙන්න තරම් ආදරේ බලගතු මායාකාරී වචනයක් බව සැබෑවක්. දවසකට වතාවක් හෝ ඇට්ලස් කඳු දැවැන්තයාට අර සිනිඳු මුදු ලැවෙන්ඩර් මල් පෙත්ත නොදකින්න බැරි තරමටම ආදරේ බලගතු බව සැබෑවක්..

ඉතින් එහෙමයි ආදරේ හැටි. මිගාන් හෙවත් නපුරු ගැරඬි උත්තමයටත් දැන් දැන් නම් සත්සිඳුව නොදැක ඉන්නම බැරි තරම්. ඇට්ලස් කන්ද වගේ දරදඬු වෙලා උන්නු එයාගෙ හිත ඉටි පහනක් වගේ දියාරු වෙච්චි අන්දම.. ඒක මායාකාරී නැද්ද. නැත්තේ මොකද, ඒක මායාකාරියි තමයි..

වචනවලින් ආදරේ නොකී තැන ගැබ් ගැන්විලා තිබුණ හැඟීම් කෝටියම එයාට විශ්වයෙන් අහන්න තරම් ලෝභයි. එයාගෙ හිත ගැරඬියා ගැන කියන්නේ මොනාද කියලා ගැරඬියටම අහන් ඉන්න තරම් හිතයි.. ඒ ආදරේ හිමි වෙයිද කියලා හිත් කොණක ඉපදෙන බය..

නෑ නෑ නෑ.. ඒ ආදරේ ජීවමානයි. හිමි වුණත් අහිමි වුණත් ගැරඬි හිතට දැන් ආදරේ කරන්න පුළුවන් ඒ අහිංසකයටම විතරයි. ඔව්, එයාට විතරමයි..

හිමි නොවන බව දැන දැනත් රෑ හීනවල විතරක් පපුවට තුරුළු වෙන , හීනවල විතරක්ම පපුවට තුරුළු කරගන්න ආදර කතා කොච්චර ඇත්ද ? කවදාකවත් අයිති නොවන ආදරයක මිහිර විඳින ඒ සුන්දර හිත් ඒකපාර්ශ්වීයයි. ඒ හිත්වලත් ආදරේ උතුරනවා දෝරේ ගලන තරමටම . ඒත් ඒ හිත් ආදරේ කරන අය වෙන හිත් එක්ක ලස්සනට බැඳිලා. එයාලා සතුටින් ආදරේ කරනවා. ඒ ආදරේ දිහා සතුටින් බලන් ඈතක ඉඳන් ආදරේ කරන්නත් හිතකට බැරි නෑ.

ගෙදරට ආපු ගැරඬියා bathroom එකට ගිහින් එළියට එද්දි තුනයි තිහට ඔන්න මෙන්න. හොඳ හොඳ ඇඳුම් බල බලා ඉන්න වෙලාවක් නැති තැන එයා කළේ අතට අහු වෙච්චි සුපුරුදු සුදු පාට jym short එකකට ක්‍රීම් පාටට හුරු ස්කිනි එකකුත් ඇඳගෙන පය ඉක්මන් කරලා පඩිපෙළ බැස්ස එක. ඒත් එක්කම වගේ බාබු අන්කල් කුඩයක් අරන් ඇවිත් කොල්ලට දික් කළේ කලබලෙන් වගේ.

" ඇයි බාබු අන්කල් මේ.. ? "

" වැස්සක් අත ළඟ සර්.. ඒ නිසා එළියට යද්දි කොයිකටත් කියලා මේ කුඩේ අරන් යන්න.. කොහෙද සර් ජැකට් දානවත් අඩුයිනේ... "

බාබු අන්කල් එහෙම කියද්දි නම් කොල්ලට ගොඩක් දුකත් හිතුණා.

එයා බාබු අන්කල් දිහා මොහොතක් බලන් උන්නේ දුක්මුසු මුහුණින්.

" සර්ට පරක්කු වෙයි.. පරිස්සමට ගිහින් එන්න... "

" හරි බාබු අන්කල්.. මං ගිහින් එන්නම්.. රෑට කෑම ඕනි නෑ.. මං එන ගමන් කොත්තු තුනක් අරන් එන්නම්... "

කොල්ලා කිව්වේ බාබු අන්කල්ව පහු කරලා යමින් ගමන්.

" තුනක්... !"

බාබු අන්කල් ඇහුවේ පුදුමයෙන් වගේ. කොල්ලා එහෙම්මම නැවතිලා ආයෙමත් ආපස්සට හැරිලා බාබු අන්කල් එක්ක යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා.

" ඔව්.. මටයි , බාබු අන්කල්ටයි , ජේකබ්ටයි.... "

එයා එහෙම කියලා හැරිලා ගෙදරින් එළියට බැස්සේ බාබු අන්කල්ගේ මූණේ සිරියාවන්ත හිනාවකුත් මවන ගමන්.

නපුරු වුණත් හිත හොඳ ගැරඬියෙක්. හැබැයි දෂ්ඨ කරන්න ගත්තම ඉවරෙකුත් නෑ. සමහරක් වෙලාවට නයි විෂත් හොඳයි..

Kawazaki bike එකට ගොඩ වුණු මිගාන් තුම්මුල්ල දිහාවට පියාසර කරන්න ගත්තේ කුරුල්ලෙක් ගානට. නිදහසක් එක්ක මුහු වෙච්චි සතුට ඒ මොහොතෙත් එයාගේ මූණේ මවලා තිබුණේ මන්දස්මිතයක්. ඒත් ඒ වුණත් full face හෙල්මට් එකට වැහිලා ඒ මන්දස්මිතය අතුරුදන් වෙලා ගිහින් තිබුණා. පුරුදු සුපුරුදු තාලෙටම ලෑල්ලට පාගලා ගිහින් කුමාරතුංග මුනිදාස මාවතට දාපු කොල්ලගේ හිතට ආවේ ලොකු සැනසීමක්..

ඊටත් වඩා එයාලට හෙවණ දෙන අර සුපුරුදු නුග ගහ දකිද්දි හිතට දැනෙන හැඟීම.. ඒ හැඟීම හරි අතථ්‍ය හැඟීමක්.. ස්පර්ශ කරන්න බැරි කායික නොවන හැඟීමක්.. ඒ නුග ගහ තරම්ම පෞරාණිකත්වයක් එක්ක හමන මද සුළං රැලි වුණත් හරි පෞරාණික පෙනුමැතියි. ගැරඬියගේ හිත ලෝභ කරන්න ගත්තේ ඒ පෞරාණිකත්වයට. ඒ නුග ගස් හෙවණ යට හමු වන ඒ ආදරෙත් පෞරාණික නොවී තියේවිද ඉතින්..

අත ළඟ එන මහ වැස්සට පෙර යාන්තමට සිරුර කිතිකවන තරම් පිනි පොද තවරන පොද වැස්සක් වැටෙන්න අරන් තිබුණා. මහා වැහි බිඳු ගත රිද්දුවට මේ පිනි පොද ගත සනසනවා. වේලාව හවස හතරත් පහු වෙලා විනාඩි පහකුත් ඉක්මවා යන්න තවත් තත්පර ගානයි.

එයා ඔෆිස් එකෙන් එළියට බැස්සේ ඒ පොද වැස්සෙමයි. කොළඹ අහස වැස්සට වුණත් හරි ලස්සනයි . කොයි අහසත් ඉතින් වැස්සට ලස්සනයි තමයි. ඒත් කොළඹ අහස.. ඒක වෙනමම පාරාදීසයක් ගානයි. අතොරක් නැතිව පැතිරුණු ගොඩනැගිලි තෙමාගෙන වැටෙන දිය කඳ මවන්නේ වෙනම සිරියක්. ඔෆිස් එකෙන් එළියට බැහැලා එයා රැජින පාර දිගේ වැටුණේ පිනි වගේ වැටෙන හිරිපොද වැස්ස තඹ දොයිතුවකටවත් මායිම් නොකර..

හිත තෙමන වේදනාවත් , ඇස් තෙමන කඳුළුත් එක්ක බලද්දි හිසත් ගතත් තෙමන හිරිපොද වැස්ස මොන අංශු මාත්‍රයක්ද..

මීළඟ කොටසට ...

More Chapters