Ficool

Chapter 40 - 40

ඒ වචනත් එක්ක එයා ගත්තේ ලොකු සුසුම් පොදක්. ඒ හුස්ම අස්සේ වචනවලින් කියාගන්න බැරි තරම් හැඟුම් සමුදායක් හිරවෙලා තිබුණා. ඇස් එකිනෙක පැටළිලා තියෙන ඒ නිමේෂය තුළ මිනිත්තුවක දෙකක කල්පනා ලෝකය බිඳුණේ ඉඳි ආප්පත් අරන් එතනට ආව හෝටලේ කොල්ලා නිසා. ඉඳි ආප්ප ගොඩක් පුරවපු බෝල් එකක් ගෙනත් තියල කොල්ලා යද්දි දෙන්නම ඒ ඇස් ඒ ඇස්වලින් මුදාගෙන ඉඳි ආප්ප බෝල් එක දිහාවට ඇස් යොමු කළා.

" රතු කැකුළු ඉඳි ආප්ප... "

සත්සිඳු මිමිණුවේ ඒ ඉඳි ආප්ප බෝල් එක දිහා බලාගෙනමයි .

" ඔයා ආසද ? "

මිගාන් කොල්ලගෙන් අහද්දි ආයෙමත් වතාවක් එයා බැලුවේ මිගාන්ගේ ඇස් දිහා.

" හ්ම්... ගොඩක්... "

" මාත්... "

" ඇත්තමද ? "

" ඔව්... "

ඒත් එක්කම වගේ හෝටලේ තරුණ කොල්ලා තවත් කරි දීසි වගයක් අරන් ඇවිත් ටේබල් එක උඩින් තිබ්බා. එතන තිබුණේ පරිප්පු කරියක්, කිරි හොද්දක් , කොච්චි දාලා හදපු පොල් සම්බෝලයක් , බිත්තර කිරි හොද්දක් , අල කොළ මාළුවක්...

කරි දීසි ටික දැක්කම නම් දෙන්නටම කෙළ උනනවා. ඒ තරම් රස පාටයි, සුවඳයි.

" ම්... මාර සුවඳයිනේ... "

" ඒකනේ දරුවෝ.. රස පාටයි... බෙදාගන්න ඉතින්... "

" බෑ... "

සත්සිඳු කිව්වේ මිගාන් දිහා ඇස් හීනි කරගෙන බලගෙන.

" ඇයි ? "

එයා ඇහුවේ පුදුමයෙන් වගේ.

" ඔයා බෙදලා දෙනවද ? "

එයා ආයෙමත් වතාවක් හුරතල් විදිහට කිව්වා.

" අනේ ඉතින්.. මේකගෙ හුරතලේ... කෝ දෙන්න ප්ලේට් එක... "

එයා සත්සිඳුගෙන් ප්ලේට් එක ඉල්ල ගත්තා. රතු කැකුළු ඉඳි ආප්ප ගොඩාක් ඒ ප්ලේට් එකට බෙදන අතරේ සත්සිඳු බලන් උන්නේ එයා දිහා.

" අම්මෝ ඇති ඇති.. ඔච්චර කන්න බෑ... "

" බෑ කියලා බෑ බෑ බෑ... මේ ටික ඔක්කොම කන්න ඕනි ,බඩ පිරෙන්න... නැත්නම් ලෙඩ මරගාතේ පණ නැතුව ඇදන් වැටුණොත් එහෙම මට බෑ ආයෙනම් මෙඩිකල් සෙන්ටර් ගානෙ බඩගාන්න.. දැන් කටවහන් මේ ටික කනවා.... "

එයා ඔක්කොම වෑංජන ටික බෙදලා අන්තිමට පොල් සම්බෝල බෙදන ගමන් කිව්වා.

" මේ... "

" ම්..."

" කට වහන් කන්නෙ කොහොමද ? "

" සත්සිඳු..... ගුටි කන්න එපා හොඳේ..ආ, දැන් කන්න... "

එයා ඉඳි ආප්ප ප්ලේට් එක සත්සිඳුට දෙන ගමන් කිව්වා.

" ඔයත් කන්නකෝ සර්... "

" හරි හරි, ඔයා කන්නකෝ.. මං බෙදාගන්නම්... "

සත්සිඳු ඉඳි ආප්පයක් කටේ දාගෙන රස බලන අතරේ මිගාන් එයාගෙ ප්ලේට් එක අරන් ඒකට ඉඳි ආප්ප බෙදාගන්න වුණා.

" මේ..මේ කරි එක මොනාද ? මං අහන්නමයි හිටියේ... "

මිගාන් ඇහුවේ අලකොළ වෑංජනය බෙදාගන්න අතරේ.

" ආහ්.. ඔය අලකොළ සර්.. ඕව හැදෙන්නේ ගම්වල. ඉස්සර කිරි අම්මා මාවත් එක්කන් පොළට ගියාම ඕවත් අරන් එනවා... "

" ම්... හරි සුවඳයිනේ... "

" සුවඳ වගේමයි රසත්.. කාලා බලන්නකෝ... "

" බලමු... "

මිගානුත් ඉඳි ආප්පයක් කටේ දාගත්තේ අලකොළ මාළුවත් එක්ක අනාගෙන.

" ෂා... කොල්ලො ඒක රහයිනේ.. "

එයා ඇස් උඩ තියාගෙන කිව්වා.

" ඒකනේ මං කිව්වේ.... "

" ඉඳි ආප්ප කන්න ඔච්චර පෙරේතයි කියලා දන්නවා නම් මං හැමදාම ගෙනත් දෙනවා... "

ගැරඬියා කිව්වේ තවත් ඉඳි ආප්පයක් කටේ දාගන්න ගමන්. සත්සිඳු ඒකට හිනාවක් දාලා තවත් ඉඳි ආප්පයක් කටේ දාගත්තා.

" අත ගගා ඉන්නැතුව කන්න සර්... "

" හරි හරි , මං කන්නම්කෝ..ඔයා කන්නකෝ මුලින්ම.. ඔයා කෑවා කියන්නේ මං කෑවා වගේ තමයි... "

මිගාන් හිනාවෙලා එහෙම කිව්වට මොකද ඒ වචන ටිකෙන් රිදුණේ සත්සිඳුගේ හිත. ඒ තරම් ආදරයක් දෙන එයාගෙ හිත මෙහෙම රවටන එක හරිද ? ඇත්තෙන්ම ඒ කරන්නේ රැවටීමක් නෙවෙයි. සත්සිඳුගේ හිතේ තියෙන්නේ එයාව අත් හරින්න බැරි විදිහේ මහා ලෝභකමක් . ඒ ලෝභකමත් එක්ක කොහොම නම් ඒ ඩඩබ්බර හිත අත් හරින්නද.. බෑ බෑ බෑ... ඒ හිත අත් හරින්න බෑ. හිත අස්සෙ ඉඩක් දෙන්න බෑ කියලා සම්මතවාදීව හිතුවත් හිත මුමුණන්නේ ඒ අසම්මතයේ වෙලෙන්න කියලමයි.

ඉඳි ආප්පයකුත් කටේ දාගෙන ප්ලේට් එක දිහා බලාගෙනම නොයෙකුත් දේ මනසට ගලන් එන ඇසිල්ලක ගොළුවත රකිනු විනා එයාට තවත් එක් වචනයක්වත් කතා කරගන්න නම් බෑ. ඒ වචනත් එක්ක හිත අස්සේ පැළපදියම් වුණු ඒ හැඟීම.. ඔව්, ඒක නම් ආදරේම වෙන්න ඕනි.

ඒත්.. ඒත් පන්හිඳ. ඔළුව අස්ස නිකන් යකාගෙ කම්මල වගේ. එහෙන් ගිනිගල අදිනවා. මෙහෙන් කිණිහිර අදිනවා. ඔක්කොම අස්සේ යකඩ තැලෙනවා. හිත හරි ගිනියමින් පිළිස්සෙනවා.

ඒ ආදරේ මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. පරිච්ඡේදවලින් පිරුණු පොතකට අස්සකින් මුල්ලකින් ආව සංවාදයක් වගේ හිත පිරිමදින සුළු ආදරයක්.. ඉතින් ආදරණීය ගැරඬියෝ, කොහොම නම් අත් හරින්නද ඔය දඩබ්බර හිතේ හිතුවක්කාර ආදරේ...

ඔළුව අස්සේ දහසකුත් සිතුවිලි එක්ක පෙරළි කරන පෙම් කවි ගැන සත්සිඳුට ඊටත් වඩා කේන්තියි. වරදක් බව දැන දැන වුණත් ඒ වරදෙහි බැඳෙන්නේ හිත මෙච්චර පෙරළි කරන හින්දමයි.

" මොනාද දරුවෝ ඔච්චර කල්පනා කරන්නේ ? "

මිගාන් ඇහුවේ එතුවක් වෙලා හොඳට හිනා වෙවී හිටපු සත්සිඳු එක පාරටම මූඩ් ගහලා වගේ බලන් ඉන්න හින්දා.

" ම්හ්... මොකුත් නෑ සර්... "

එයා කල්පනාවෙන් බිඳිච්චි ලෝකයෙන් ඇවිත් යාන්තමට හිනා වෙලා වෑංජනත් එක්ක අනාගත් ඉඳි ආප්පයක් කටේ ඔබා ගන්න ගමන් කිව්වා.

" කන්න කන්න... "

එහෙම කියලා මිගානුත් තවත් ඉඳි ආප්පයක් කටේ දාගත්තා.

ශ්‍රී සුමංගල මාවත ගාවින් නවත්තපු කොටුවේ ඉඳන් ආව බස් රථයෙන් බැහැ ගත්තු පන්හිඳ බැලුවේ ඒ නුහුරු නුපුරුදු වටපිටාව දිහා. එනකන් දැක්ක බිල්ඩින්ග්ස් පිරුණු කොන්ක්‍රීට් වනාන්තරය දිහා බලද්දිත් පන්හිඳගේ ඔළුව කැරකෙනවා.

ශ්‍රී සුමංගල මාවත ගාවින් බැහැලා එතන ගහලා තිබුනු නාම පුවරුව දිහා බලලා පන්හිඳ ඒ පාර දිගේ ඉස්සරහටම ගමන් කරන්න වුණා. නාගරිකත්වයෙන් මිරිකුණු ඒ ඉසව්ව පහු කරන් ඇතුළට යන්න යන්න ඇස් මානෙට යොමු වෙන කොළ පැහැති හරිත පාරාදීසය නම් එයාට හරි හුරු පුරුදුයි. කොළඹ රටේ මෙහෙව් දේවලුත් තියෙනවද වගේ බැල්මකින් ඒ දිහා බලන් උන්නු පන්හිඳ ගස් හෙවණකට වෙලා එයාගෙ කලිසම් සාක්කුවේ දාගෙන උන්නු button phone එක අතට ගත්තේ සත්සිඳුට call එකක් ගන්න.

එයාගෙ number එකට කෝල් එකක් අරන් පෝන් එකත් කණේ තියාගෙනම පන්හිඳ ඉස්සරහට යන්න වුණා. ඒත් ඒ අංකය ඒ මොහොතේ නම් වැඩ කළේ නෑ. එහා පැත්තෙන් ඇහුණේ number එක බිසී කියලා. ඒත් එක්කම වගේ පෝන් එක සාක්කුවට දාගෙන එයා ඉස්සරහටම ගමන් කරන්න වුණා.

නුහුරු නුපුරුදු අර්ධ නාගරිකත්වයක් පැතිරිලා තිබුණු ඒ පාර දිගේ ගමන් කරද්දි එයා වට පිට බල බලා ගියේ සත්සිඳු කිව්වත් වගේ දිග ශාලාවක් හැඩැති බෝඩිම් හවුස් එකක් අහළ පහල තියෙනවද බලන්න.

ඒ මාවතේ වම් අත පැත්තට වෙන්න තිබුණු බෝඩිම් හවුස් එක පන්හිඳ දැක්කේ ටික දුරක් යද්දි. බැලූ බැල්මට සත්සිඳු කිව්ව බෝඩිම මේක වෙන්න ඇති කියලා හිතුණු නිසාම එයා ඒ මිදුලට ගිහින් වට පිට බලන්න වුණා. ඒත් පේන තෙක් මානෙක බලු බල්ලෙක්වත් නෑ. පේළියට තිබුණු හැම පුංචි කාමරයකම දොරවල් වහලයි තිබුණේ. කෙළවරකට වෙන්න අඩ අඳුරකුත් එක්ක අතු පතර විහිදුවාගෙන ඉන්න සේපාලිකා මල් ගහ දැකපු පන්හිඳ ඒ දිහා බලලා යාන්තමට හිනා වුණා.

ගමක පැතිරෙන නාගරිකත්වයත්, නගරයක පැතිරෙන ග්‍රාමීයත්වයත් අතර තියෙන්නෙ හරි අපූරු බැඳීමක්. ඒක හරියට පෞරාණික සබැඳියාවක් වගේ..

එයා ඔහේ බලන් උන්නේ කරකියාගන්න කියලා කිසිම දෙයක් නැති තැන. කතා කරලා බලන්න හිතුණත් නුහුරු නුපුරුදු තැනකට ඇවිත් එහෙම කතා කරලා බලන්න තරම් එයාගේ හිතට හයියක් නෑ. ගතේ සවිය කොහොම වුණත් හිතේ සවිය නැතුව එයා උන්නේ අසරණ වෙලා වගේ.

මධ්‍යහ්නයේ තද හිරු රැස් පොළෝ තලය ආක්‍රමණය කරන්න අරන් තිබුණේ. ඒ ඉසව්වට හරි හරියට හිරු රැස් වැටිලා ගිනියමයි. ඒ උණුසුම දරාගන්න බැරුව අරන් ආව රෙදි බෑග් එකත් අරගෙනම පන්හිඳ අර සේපාලිකා මල් ගහ කිට්ටුවට ඇවිදගෙන ගියා. ඒ හරිය නම් හරිම සිසිලසයි. එයා මොහොතකට රෙදි බෑග් එක එතන බොරළු පොළවෙන් තියලා අත් දෙක දිග හැරලා හිරි අරින්න වුණා.

ගාල්ලේ ඉඳන් කොළඹ එනතුරුම හිරවෙලා ඇවිත් එයා උන්නේ ගොඩක් තෙහෙට්ටුවෙන්. පිට දිගේ දාඩිය වැගිරෙනවා. බෙල්ල , මූණ හැමතැනකම හරියට දාඩිය..සේපාලිකා ගහ තියෙන ඉසව්ව හරිය සීතල නිසාම එයා එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නේ මොකෙක් හරි එළියට එයි කියලා බලාපොරොත්තුවෙන්.

ඉඳි ආප්පත් කාලා හෝටලේදීම බෙහෙත් ටිකත් බීලා සත්සිඳු මිගාන් එක්කම බයික් එකෙන් ඇවිත් ශ්‍රී සුමංගල මාවතට වැටුණා.

" මං මේ ටික පයින් යන්නද ? "

" අනේ මේ... "

එයා කිව්වේ එච්චරමයි . සත්සිඳු එතනින් එහාට වචනයක්වත් කතා කරන්න ගියේ නෑ. නිහඬවම බයික් එකේ ඇවිත් බයික් එක බෝඩිම් හවුස් එකේ මිදුලට දාද්දියි කොල්ලට දෙලොව රත් වුණේ.

" දෙයියනේ පන්හිඳ අයියා.....! "

එයා කිව්වෙ නෑ කියවුණා. දැන් සත්සිඳුගේ ඇස් දෙකම උඩ ගිහින්. හිත දැන් දැන් ඩෙඟා නටනවා. ගැහෙන වේගය මෙහෙමයි මෙච්චරයි කියලා කියන්න බැරි තරමට සත්සිඳුගේ හිත ගැහෙනවා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.. එයාට දැන් අබ සරණයි..! හිතේ ඉන්න දෙන්නම එකට මුණ ගැහෙන මල මූසල මොහොත.. ටිකක් හරි එයාට උණ අඩු වෙලා තිබ්බා නම් දැන් ඒකත් වැඩි වෙන මොහොත..

මිදුලට ඇවිත් නතර කරපු ලොකු බයික් එකේ සද්දෙට එතුවක් වෙලා සේපාලිකා ගහ යටට වෙලා උන්නු පන්හිඳ හැරිලා බැලුවා. බයික් එකේ ආවේ වෙනින් කවුරුවත් නෙවෙයි එයාගෙ අහිංසකයා. ඒත් එයත් එක්ක ඉන්න අර ආධුනික පොර දිහා නම් පන්හිඳ බැලුවේ එච්චර ප්‍රසන්න බැල්මකින් නෙවෙයි.

සේපාලිකා ගහ යට බොරළු පොළවේ තියලා තිබුණු රෙදි බෑග් එකත් අරගෙනම කට පුරා හිනා වී ගෙන පන්හිඳ ඉස්සරහට ආවා. සත්සිඳු තවමත් බයික් එකේ. එයා උන්නේ කරකියාගන්න දෙයක් නැතුව..

මිගාන් පන්හිඳව දැක්කේ ඒ මොහොතෙදි. පන්හිඳ ඒ දිහා හිනා වී ගෙනම බලන් ඉන්නවා දැකලා සත්සිඳුත් එයත් එක්ක යාන්තමට හිනා වුණේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සැක නොහිතෙන විදිහට .

" කවුද ඒ ? "

මිගාන් ඇහුවේ පන්හිඳ දිහා සැකමුසු බැල්මක් හෙලන ගමන්. දැන් ඉතින් මොනා කියන්නද.. එයාට කට උත්තර නෑ. ඒත් ඉතින් බෙන්තර ගඟෙන් එහා නුවණ පහළ වෙන්න සත්සිඳුට එච්චර වෙලා ගියේ නෑ. තත්පර දෙක තුනට ගැටගහගත්තු උත්තරේ එයා යස අපූරුවට කියලා දැම්මා.

" අහ්.. ඒ.. මේ.. ඒ මේ අපේ අයියා කෙනෙක්.. මං ඊයෙ අසනීපයි කියලා අම්මට කිව්වට පස්සෙ ඒ අයියව එවනවා කියලා කිව්වා.. අපේ නැන්දා කෙනෙක්ගේ පුතෙක්... "

" අහ්.. ඒක මිසක්.. ඒ වුනාට පරිස්සමින්... "

" එයා එහෙම නෑ සර්.. පුංචි කාලෙ ඉඳන් දන්නවනේ... "

" හ්ම්.. එහෙනම් දැන් යන්න. බෙහෙත් ටික වෙලාවට ගන්න. හොඳට rest කරන්න... "

ඒත් එක්කම සත්සිඳු පන්හිඳ දිහා බලාගෙනම බයික් එකෙන් බැස්සා. පන්හිඳ තවමත් හිනා වී ගෙනම බලන් ඉන්නවා.

" පරිස්සමින් යන්න සර්.. බුදු සරණයි..! "

එයා කිව්වේ ආයෙමත් වතාවක් ගැරඬියා දිහාවට හැරිලා.

" ඔයත් පරිස්සමින් මගෙ දරුවෝ.. බුදු සරණයි..! love you my babybabe.... "

සත්සිඳු මොකුත්ම කිව්වෙ නෑ. හිනා වුණා විතරමයි. මිගාන් ආයෙමත් වතාවක් පන්හිඳ දිහා සැකමුසු බැල්මක් හෙලද්දි පන්හිඳත් එයා දිහා බලන් උන්නේ සැකමුසු බැල්මකින්..

ගිරයට අහු වෙච්චි පුවක් ගෙඩිය වගේ දෙපැත්තෙන්ම තැලෙන සත්සිඳු මිගාන්ගෙන් ඈත් වෙලා සුපුරුදු සිනාවම මුව රඳවගෙන පන්හිඳ ගාවට යන්න වුණා. මිගාන් ආයෙමත් වතාවක් පන්හිඳ දිහා රවලා වගේ බලලා එයාට පේන්නත් එක්කම බයික් එක වේගයෙන් පාරට දාලා ගිනි වේගයෙන් ඉගිල්ලුණා.

" කවුද සුදු චූටි ඒ ? "

" අහ්..මේ ඒ මගෙ ඔෆිස් එකේ යාළුවෙක්.. මං අසනීප වෙලා කිව්ව හින්දා අද මාවත් එක්කගෙන බෙහෙත් ගන්න ගියා... "

" අහ්... ඒක මිසක්... මං හිතුවා ඊටත්.... "

" මොකක්ද ? "

" නෑ නෑ , මොකුත් නෑ...හරි මහන්සියි සුදු චූටි... "

" යං ඇතුළට... "

සත්සිඳු ගානට දෙපැත්ත balance කරලා ඒ සමීකරණය නම් විසඳුවා. ඒත් එයාට විශ්වාස නැත්තේ ඉස්සරහට මොන මොන විදිහේ සමීකරණ ජීවිතේට එයිද කියලා. දොරත් විවර කරන් ඇතුළට යන ගමන් එයා පන්හිඳට කතා කළා.

" එන්න අයියේ ඇතුළට.. "

" මං සුදු චූටිට කෝල් කළා.. නම්බරේ වැඩ නෑ කිව්ව නෙව... "

පන්හිඳ කිව්වේ කාමරේට ඇතුළු වෙන ගමන්.

" අහ්.. ඒ වෙලාවෙ එහෙනම් මං doctor ගාව ඉන්න ඇත්තේ... "

යස අපූරුවට බොරු ගොත ගොතා දෙපැත්තම බැලන්ස් කලාට මොකද එයාට බුදු දහමේ හැටියට නම් යන්න අපායක් හදන්න වෙනවා. ඊටත් අත් හරින්න බැරි ලෝභකමකින් වුණත් මේ හැටි රවටන්නේ කොච්චර අවංක ආදරණීය හිත් දෙකක්ද.. ඒ පව්කාරකම ගැන ඒ මොහොතෙත් එයා හිතුවා.

පන්හිඳ ඇවිත් ඇඳෙන් වාඩි වුනාම සත්සිඳු එයා දිහා බලන් උන්නේ ඇහිපිල්ලමක්වත් නොගසා. අනේ මගේනේ කියන හැඟීම ඒ මොහොතෙදි එයාගෙ හිතේ ඉපදිලා දෑස් අතුරින් බේරෙන්න වුණේ පුංචි කඳුළක් විදිහට .

" අනේ ඇයි සුදු චූටි මේ.. ? "

ඇඳේ වාඩි වෙලා උන්නු පන්හිඳ එහෙම්මම නැගිටලා සත්සිඳු ගාවට ඇවිත් එයාගේ මූණ දෝතටම අරන් ඒ බොඳ වුණු ඇස් දිහා බලන්න වුණා. කළු පාට ඇස් දෙකේ බොඳ වුණු කඳුළු බිඳු දිහා පන්හිඳ බලන් උන්නේ හිතේ ඉතිරිලා යන වේදනාවකින්.

" ඇයි සුදු චූටි.. අනේ ඇයි මැණික මේ.. ? "

ඒ රළු දෑත සත්සිඳු එයාගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

" අනේ..අනේ ඔයා එහෙනම් ආවා නේද.. මාව බලන්න...ම්... "

" ඉතින් ඔයා මගේනේ. ම්... ඔයාව බලන්න එන්න බැරිකමක් නෑ සුදු චූටි මට... "

ඒ ඇස් දිහා බලාගෙනම පන්හිඳ කියද්දි සත්සිඳු එහෙම්මම එයාව තද කරලා බදාගත්තා.

" අනේ, ඒ වුනාට.. කාත් කවුරුවත් නොදන්න මේ කොළඹට තනියෙන්ම ඇවිත් මාව හොයාගෙන ආවනේ... "

" ඒක එහෙම වෙන්න එපැයි සුදු චූටි.. ම්...නේද ? "

" ආදරෙයි අයියේ... "

" මාත් ආදරෙයිනේ ඉතින්... "

එයාගේ පපුවට තුරුළු වී ගෙනම ඉන්න සත්සිඳුගේ හිස කෙස් අතර ඇඟිලි යවමින් එහා මෙහා කරමින් හිස අතගාන අතරේ එයා කිව්වා.

" දැන් ගිහින් ඇඟ පත සෝදන් එන්න.. ගොඩක් දුර ඉඳන්නේ ආවෙත්... යන්න.. මං තේ එකක් හදන්නම්... "

එයාගෙ තුරුළෙන් මදකට ඈත් වෙන ගමන් සත්සිඳු කිව්වා. එයා ආයෙමත් ඇස් පටළවා ගෙන බලන් උන්නේ පන්හිඳගේ ඇස් දිහා. ඒ ඇස් හරි වෙහෙසකාරී පාටයි. තෙහෙට්ටු පාටයි..

" ඔයාට පුළුවන්ද ? "

" තේ එකක් හදන්න බැරිකමක් නෑනේ.. යන්න යන්න, ගිහින් නාගෙන එන්න... "

ඇඳ උඩින් තිබ්බ රෙදි බෑග් එක විවර කරලා ටවල් එකකුත් අතට අරන් පන්හිඳ සත්සිඳු දිහා බලන් ඉද්දි , සත්සිඳු එයාගෙ අතකින් අල්ලගෙන එක්කගෙන ගියේ කුස්සියේ බිත්තියෙන් එහා පැත්තේ තිබුණු bathroom එකට.

" එහෙනම් නාගෙන එන්න.. මං තේ එකක් හදන්නම්... "

පන්හිඳව bathroom එක ඇතුළට යවලා දොරත් අඩවල් කරන් එයා පුංචි kitchen එකට ඇවිත් හීටර් ජග් එකට වතුර එකක් ගහලා බලන් උන්නා. ඒ වෙද්දි නම් බෙහෙත්වල පවර් එකට එයාට ටිකක් සනීපයි. ඇඟ රස්නෙ එහෙම බැහැලා ගිහින්. ඉඳි ආප්ප කාපු නිසා ලොකු බඩගින්නකුත් නෑ.

මිනිත්තු පහක් විතර ගිහින් වතුර එක උණු වෙද්දි එයා මඩියට තේ කොළ හැඳි දෙකකුත් දාලා කහට වතුර වත් කළා. ඒ තේ කොළ වැනිලා දාලා නිසා හරි සුවඳැති පාටයි. සුවඳ වගේමයි වැනිලා රසත්..

කහට එකට සීනි හැඳි දෙකක් විතරක් එකතු කරලා එයා බලන් උන්නේ පන්හිඳ එනතුරු. මේස ලාච්චුවේ දාලා තිබ්බ බර්ෆි කෑලි ටික සිහියට ආවේ ඒ මොහොතේ..

' දෙයියනේ, සර් ගෙනත් දීපු බර්ෆි කෑලි ටික... '

එයා ආයෙමත් කාමරේට දුවලා ඇවිත් මේස ලාච්චුව විවර කරලා බර්ෆි කෑලි දාපු box එකත් අරගෙනම kitchen එකට ගියා. බර්ෆි දකිද්දි එයාටත් කට නිකන් තියන්න පුරුද්දක් නැති නිසා පන්හිඳ එනතුරු නොඉඳ බර්ෆි කෑල්ලකුත් කටේ දාගෙන රස බලන්න වුණා.

ඒවයේ රස.. එදා පළවෙනි දවසේ ගෙනත් දුන්නා වගේමයි. එයාට ආයෙමත් මතකයට ආවේ ගැරඬියව. බර්ෆි කෑල්ලක රස බල බල උන්නට මොකද ඒ රස මූණ අතුරුදන් වෙලා ගිහින් ඒ මූණට එක පාරටම කඩා වැටුණේ කළුවරක්..

' සර්..සර්.. මට සමාව දෙනවා නේද.. මං දන්නවා මං කරන්නෙ වැරැද්දක් . ලොකු වැරැද්දක්.. ඒත්.. ඒත් මං මොකක්ද කරන්න ඕනි.. මට තේරෙන්නෑ සර්.. මට ඔයාවත් ඕනි. එහෙම කියලා පන්හිඳ අයියා.. මං.. මං කොහොමද එයාව අත් හරින්නේ.. මට ඔයාව අත් හරින්නත් බෑ මගෙ ගැරඬියෝ.. මං ඔයාට යන්න දෙන්න ලෝභයි.. මං දන්නෑ , මං මොකුත්ම දන්නෑ.. මට මේ මොකුත්ම තේරෙන්නෑ.. මේ පව මට ගෙවාගන්න බැරි වෙයි.. ඔය අවංක හිත් දෙකම මේ විදිහට රවට්ටනවට මේ පව්කාරයට පොළව පලාගෙන යන්න වෙයි.... '

ඒ එයාගෙ හිත. එයාගෙ ඇස් කොණකට උනපු කඳුළු බිඳුවක් සුළැඟිලි අගින් පිහදාගෙන ආයෙමත් වතාවක් ඒ හිත අස්සෙ තිබුණු මහ ලොකූ දුක පිට කරගත්තට මොකද හිත් පතුල පිරිමදින දුක්ඛ අවක්ෂේපය තවමත් ඒ හිත් පතුලේ එහෙම්මමයි.

පන්හිඳ bathroom එකේ ඉඳන් ආවේ ඒත් එක්කම වගේ. සත්සිඳු එයා දිහාවට හැරිලා බලද්දි දැක්කේ නැවුම් පෙනුමකින් එයා දිහා බලන් ඉන්න කඩවසම් පිරිමි දේහධාරියාව. Gym ගිහින් හදාගත්තේ නැතුවට මොකද බෝට්ටූ, නැංගූරම්, මාළු දැල් විතරක් නෙවෙයි මහ මුහුදත් එක්කත් ඔට්ටු වෙලා හරි අපූරුවට කැපුණු මාංශ පේෂි එක්ක කඩවසම් පිරිමි සිරුරක් එයාට තිබුණා. දැක්ක හැටියෙම හිත උදුරලා ගන්න මේ පුරුෂ පරාණය මගේනේ කියන හැඟීම ඒ මොහොතෙදිත් එයාට දැණුනා.

සත්සිඳු වුණත් හිමිකම් කිව්වේ ඒ වගේම නැති වුණත් හොඳ කඩවසම් පිරිමි සිරුරකට. වෙලාවකට බොළඳ වුනාට මොකද එයත් සාමාන්‍යයෙන් හයිය ගාය තියෙන වැල්ලෙ කොල්ලෙක්. පුංචි කාලෙදි ඉඳන් අම්මත් එක්ක ගිහින් මාළු දැල් ඇදලම එයාටත් ඒවා හරි පුරුදුයි. මිගානුත්, පන්හිඳත් තරම් නොවුණ මුත් සත්සිඳුත් ඒ වගේම පිරිමි සිරුරකට හිමිකම් කිව්වා. ඒ කඩවසම් පෙනුමට ඉතින් කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන එක නම් කොහේ ගියත් සිද්ද වෙනවා.

" නෑවද අයියේ ? "

" ඔව් සුදු චූටි.. ඇඟට හරි සනීපයි.... "

එයා කිව්වේ තෙත කොණ්ඩය අතින් ගසාලන ගමන්.

" එහෙනම් ගිහින් ඇඳුමක් දාගෙන එන්න... "

උඩුකය නිරුවතින් ටවල් එක විතරක් ඇඳන් උන්නු පන්හිඳ එතනින් යන්න ගියේ තෙත හිස කෙස් අතින් ගසාලන ගමන්මයි. එයා යන ගමන් සත්සිඳුගේ කම්මුලේ පුංචි හාදුවක් තියාගෙන යද්දි සත්සිඳු එයාගෙ බාහුවකට අතින් එකක් ගැහුවේ හිනා වෙවී.

පන්හිඳ කාමරේට ඇවිත් ලා නිල් පාට short එකකුයි , අළු පාටට හුරු ස්කිනි එකකුයි දාගෙන ආයෙමත් පුංචි කිචන් එකට ඇවිත් සත්සිඳු හදලා දුන්නු තේ එක බොන්න පටන්ගත්තා. සීනි අඩුවෙන් දාලා හදපු තේ එකත් එක්ක බර්ෆි කෑල්ලකුත් කන ගමන් එයා kitchen එකේ තිබුණු පුටුවක් අරන් වාඩි වුණා.

" මේ හුණ්ඩු කට අස්සෙ කොහොමද සුදු චූටි ඉන්නේ ? "

" මොනා කරන්නද අයියේ.. ගාණ අඩු නිසා ඉන්නවා ඉතින්... "

" හැබැයි මේ අඩස්සියේ ගස් කොළන් ටික නම් පංකාදුයි ඕං... "

" හ්ම්... මාත් ආසම ඒ හින්දා. පාර අයිනේ වාහන සද්දෙත් එක්ක විඳෝ විඳෝ ඉන්නවට වඩා මෙහෙම ඉන්න එක නිදහස්... "

" සුදු චූටිට දැන් හොඳයි ද ? "

එයා ඇහුවේ තේ උගුරක් බොන ගමන්.

" උදේ බෙහෙත් ටික බිව්වා එන ගමන්.. යාළුවත් එක්ක හෝටලෙකට ගිහින් ඉඳි ආප්පත් කාලා ආවේ... "

එයා කිව්වේ සන්තෝසෙන් . ඒ මූණේ ඉතිරෙන සිරියාව.. ඒ මූණේ අමුතු සිරියාවක්.. ඔව්, පන්හිඳ ඒ මූණේ පිරෙන සිරියාව හොඳටම දැක්කා.

" සුදු චූටිගේ මූණ හරි සිරියාවන්තයි නෙව... "

එයා කිව්වේ හැබෑවටමද විහිළුවටද මන්දා..

" අනේ යන්න... "

ඒක විහිළුවක් ගානට භාර ගත්තු සත්සිඳු හිනා වී ගෙනම kitchen එකේ ඉඳලා කාමරයට යන්න වුණා.

" මං ඇඳ හදලා දෙන්නම්.. ටිකක් නිදාගන්න ඇවිත්... රෑ වෙලා උයන්න ගන්න ඕනි... "

එයා කාමරේ ඉඳන්ම ටිකක් සද්දෙන් කිව්වෙ kitchen එකේ ඉන්න පන්හිඳට ඇහෙන්න.

" ඔයත් ඇඟපත සෝදගන්න සුදු චූටි.. ඔළුවෙ නාන්න එපා... "

තේ එක බොන අතරෙම පන්හිඳත් කිව්වෙ ටිකක් විතර සද්දෙන්.

" අම්මෝ... අද නම් කොහොමටත් ඔළුවෙ නාන්නෑ... "

එයා හිනා වෙවී කියන ගමන් පරණ ඇඳ රෙදි ටික අයින් කරලා කබඩ් එක විවර කරලා එළියට ගත්තේ අළුත් ඇඳ රෙදි වගයකුයි, කොට්ට උර දෙකකුයි. ඇඳ උඩ වාඩි වෙලා කොට්ට දෙකට කොට්ට උර දාලා ඇඳ රෙද්දත් එලලා ඇඳ හදපු එයා ආයෙමත් kitchen එකට යද්දි පන්හිඳ තේ බීපු කෝප්පය හෝදමිනුයි හිටියේ.

" ඔයා නිදාගන්න එහෙනම් , මං ගිහින් wash එකක් දාගෙන එන්නම්... "

පන්හිඳට එහෙම කියාගෙනම එයා bathroom එක ඇතුළට ගියා.

" කෝ තුවායක් ගත්තද ? "

" ඇතුළේ තියෙනවා... "

එයා උත්තර දුන්නේ bathroom එක ඇතුළේ ඉඳන්මයි. ඒත් එක්කම වගේ පන්හිඳට ඇහුණේ ජල මලෙන් වතුර නිකුත් කරන හඬ. මිනිත්තුවක් දෙකක් ඒ හඬට සවන් යොමු කරපු පන්හිඳ කාමරයට ඇවිත් ඇඳේ හාන්සි වෙලා සිවිලිම දිහාවට ඇස් යොමා ගෙනම උන්නා. ගතේ වෙහෙස තරමක් දුරට ඉතුරු වෙලා තිබුණ හින්දම එයාට එහෙම්මම ඇස් පියවුණා.

මීළඟ කොටසට ...

More Chapters