Ficool

Chapter 2 - 02

මා පුතා...හිමීට දාපන්....හීරෙන් නැතිවෙන්ඩ රෙද් අහුවෙන්ඩ දාපන්.....

අප්පුච්චා උඹගෙ ඇගිලි අහුවෙයි....

සර.....ස්

දෑතින්ම අල්ලන් උන්න පෙට්ටිය හර්ස් එකට ගොඩවෙන සද්දෙ ඇහීනෑහීගන යනවත් එක්කම මං පිටිපස්සෙ දොර වහලා දැම්මා....

දඩස්....

ඩිකියෙ දොර වැහිල ගියා....මාව නිකන් හිස්වෙලා වගේ....මේ අත්වලින් අනන්ත මිනිකැපුවා...මේ අත්වලින් මං අනන්තවත් පෙට්ටි හැදුවා....මේ අනන්තවත් මේ අත්වලින් වලවල් කැපුවා.....පපුකදක් දෙපලු කරන වාරක් පාසාම දුකක් වෙනුවට මට මතක් උනේම සන්සාර චක්කරෙත් මනුස්ස ප්‍රානියෙක්ගෙ ජීවිත අනිත්‍යත් විතරක් උනාට මේ තරමට හිස්කමක් මේතාක් මට දැනිලා තිබුන් නෑ...මෝචරි ලෑල්ල උඩට වැටෙන මලකද පිහිතුඩ පසාරු කරන් යනකොට මලකදට නෑකම් කියන එවුන්ගෙ විලාපෙ ඇහෙද්දි යන්තමට වගේ දුකක් මෝදු උනත් මගෙ හිතට කවදාවත් මෙහෙම හිස්කමක් බරක් දැනුන් නෑ...

ඒත් අද....

අද...මගෙ පපුවෙ බරම පැත්ත බර වෙලා....පපු කටු එකයි දෙකයි කියලා ගනින්න පුලුවන් පපුවෙ බරම හරිය අද ඕනාවත් වඩා බර වෙලා..

හිස් උනාට මොකද බර වෙලා....

සමනා...උඹයි මායි එකම වයසෙ...මුලු පන්තියක්ම කොන් කරනකොට උඹ විතරයි මට උඹගෙ බත්පතට අත දාන්න ඉඩ දුන්න එකම එකා....උඹ විතරයි මට උඹ ගාව ඉදගන්න ඉඩ තියන් උන්න එකම එකා.....උඹ විතරයි මගෙ අල මුලෙ ලුනු රහ බලපු එකම එකා....උඹ විතරයි අඩිය මඩ බැදුන බෝතලෙන් මඩ රහ වතුර උගුර හරි මා එක්ක එකට බෙදාගත්ත එකම එකා.....

වෙන උන් ළඟින් යන්නෙ නැ...උන්ට මං උලන පව්ඩර් ටිකත් මිනී සැරයි කියනවා...ඒත් එක අතකින් ඒක හැබෑව .....

අමුතු පවුඩර් මගෙ ගාව කොහෙද බන්....??? යන යාමට බිම් කරුවලෙ හුලු අතු එලියෙන් ගෙයි එලි බහින මගෙ දෙයියො බුදුන් උන අප්පච්චි ට බත් එක දීගන ඉස්කෝලෙට එන මං උලාගන ආවෙ මිනියටත් උලන පවුඩර් නේන්නම්....කොච්චර වාත් අප්පච්චි එපා කිව්වත්....පියරු ටින් එකක් ගෙනත් දෙන්නම් කිව්වත් මට හා ය කියන්න කවදාවත් කටඇරුන් නෑ බන් ...පැනසලක් ඉවරවෙන ගානෙ මට කවදාවත් මිනිරන් කූරකට වත් රුපියලක් ඉල්ලන්න හිතුන් නැ බන් ..උඹ ඒක දන්නවා...උඹයි මායි හැමදාම ඉස්කොලේ පුරාවටම කාගෙන් හරි හැලුන පැන්සල් කොට ඇහින්දා ....පසට යට උන මකන කෑලි හෙව්වා...පැන්සල් කොටයක් හම්බුන දාකට උඹ මම තරම් මැනික් ගරන එකෙක්ට මැනිකක් හම්බුනාමවත් සතුටු නැතිව ඇති .....

මුලු පන්තියම එකතුවෙලා මගෙ මූනට බෙනේ උඹ එනගමං මහ බෙනේ එක්ක මිනියක් කපලද ආවෙ අහනකොට මං කරන්නෙ මූන හංගන එක....ඒත් උඹ විතරක් මගෙ පැත්තට ඇවිදින් හිටගන්නවා.....

ඒ හැමදාකම උඹ කෙරුවෙ බෙනේ උඹගෙ මූනෙ පිටි උලලා අද පව්ඩර් වැඩී කියලා පිහදපු එක....

එහෙම උඹ...අද...?

තත්පරයක් දෙකක් අගුරුපාට අහස දිහා බලාගන ඉදලා ඉදල ඉහට උඩින් කනාමැදිරියෙක් යන යාමෙ මං ආයමත් හර්ස් එක අස්සෙ තිබුන හිස් පෙට්ටිය දිහා බැලුවා...මගෙ පපු කුහරෙන් පන්දමකින් පිට වෙන රස්නෙටත් වඩා ගිනියම් උන හුස්මක් පිට උනා....

කෙසෙල් කොට දෙකක් ඔබ්බපු මල්වැලක් කැටයම් කරාපු කටු කොලෙන් අඩුවට මැදපු ගොරෝසුවට තියන අඩුම පෙට්ටිය .....ඔය පෙට්ටිය රතුපාටට හුරු දුඹුරුපාටයි.....ගොරෝසුව යන්ඩ හරියටම මදින්නෙත් නෑ....මල්පෙති වල හැඩේ ඇද උනත් ලොකුවට ගානකුත් නෑ.....ඇත් දල දෙකයි පිත්තල් පහනයි මල්පෝච්චි දෙකයි...ඔච්චරයි .....මේ ගමේ හැම ගෙදරකටම ගියෙත් ඔය ටික විතරමයි....අලිගහල පිල් කන්න කැඩුන ගෙවල් වලට පොලිශ්කරපු පෙට්ටි යනවද.....???

හමුදාවට ගියපු කොල්ලා එනකන් හූල්ලන් ගිලුන ඇස් වලින් බලන් ඉන්න උන් ඉන්න ගෙවල් වලට වැලේ මල් අහුරු ගනන් පිපුන පෙට්ටි යනවද....??සමහර දාට ආචාර වෙඩි මේ මොකුත්න නෑ.... විරුවානනි නිවන්සුව කියලා ගොක්කොලෙම්ම ගහපු ගොක්කොල තොරනයි ගොක්කල ආරක්කුවයි...ඔච්චරම තමයි....දාලා වහන පස් කන්ද වත් තෙත නෑ..ඒකත් වේලුම් කාලා...පව් මැරිලත් ගිනිතපින්ඩ වෙලා....

එක අතකට උඹ වෙනුවට කෙහෙල් කොට දෙකක් එවපු එකම ඇති බන්.....බැරි වෙලාවත් ඒ උඹ උනා නම්....මං හිතන්නෙ නැ මට උඹගෙ කකුලෙ බල නහරෙ එලියට අදින්න මේ අත් වාරු තියෙයි කියලා...මගෙ අත් වෙව්ලයි....නහර කරකුට්ටන් කරන් යන්න ගහන ෆෝමලීන් කට්ට මම මටම ගහගනී.....

මන් හිතන්නෙ නෑ බන් පෙට්ටි හදනකොට අහක් වෙන කුඩුම ආපිට උඹට ඔබන්න මේ අත් හයිය වෙයි කියලා ...මං මොන හිතෙන් ඔය ඔලු කට්ට ගලවලා උනන මැහුම් හිල් වලින් ලේ එලි පනී කියලා ආපිට ලී කුඩු ඔබන්නද???

මං හිතන්නෙ නෑ....තුනට එකේ අනුපාතෙට කලවම් කරන ෆෝමලින් බාල්දිය මගෙ අතට අහුවෙයි කියලා..මන් ඒකත් මගෙ කහට කෝප්පෙට කලවම් කරගනී බන් .....

මායිමට එහායින් ඇහෙන වෙඩි සද්දයක් ගානෙම මට මතක් උනේම උඹව...උඹ කැඩුන අකුරෙන් ලියාපු ලියුන් කඩදහිය...යුද්දෙට යන්ඩ එනවද කියලා අහල තිබුන උඹම ලියුම අන්තීම කරලා තිබුනෙ උඹ නාවට කමක් නෑ බන්...උඹට මේ බොට කදේ බර වැඩී උස්සන් ඉන්ඩ...හමුදාවට ඕනෙ මහත උන්ව...දුවන්ට ඕන...බඩගාන්ඩ ඕන මගක් දුවල හති දානකොට පපුව නවතින උන්ව ගන්නෙ නෑ උඹ ඔහෙ ඉදපන්..

දවසක මං මැරුනොත් මාව හැඩරන්ඩ ඔහෙට ගෙනෙන්.... මගෙ කොන්ඩෙ පැත්තට පීරපන්....පීරලා පොපි මලක් ගහපන් ...ඒත් බන් පීරන්ඩ කොන්ඩයක් තියා ඔලුවක් වත් තියෙයිද දන්නෙ නෑ ...පරිස්සමින් ඉදපන්

මගතොට යනකොට ඇස් කන් ඇරන් පලයන්...උඹලට ඒකදන්තයගෙන් හුගක් කරදර නම් ඊලග වන්ගියෙ මං ආවොත් හොරාවට හරි ඕකව කම්මුතු කරන්නම් එතකොට උඹලට පුලුවන් ගල්පොත්ත හන්දියෙන් දුවන් නැතුව හෙමින් යන්න කොටින්ට වඩා වෙලවකට අලි සැරයි බෙනේ " කියලා මෙන්න මෙහෙම...

එහෙම කියපු උඹට මං එවපු ලියුම ආවද කියන්න දන්නෙත් උඩ ඉන්න දෙයියොම තමා සමනා...එහෙම හම්බුන නම් උඹට මෙහෙම වෙන්නෙත් නෑ...මං උඹට ලියලා එව්වෙ දුවනකොට බලාගන දුවපන් බට්ටො වලලා තියන කතාව මට වඩා දන්නවනෙ උඹ .....සමන්දෙවි රැකවරනයි උඹව ගන්ඩ මං හන්දියට එන්නම් පරිස්සමින් ඉදලා වරෙන් මං බෙනේ , මෙන්න මෙහෙම

වෙඩිල්ලක් පත්තු වෙන ගානෙම අලි වෙඩිල්ලක් විතරක් වෙයන් කියලා හැම මොහොතම මං හිතුවෙ එහෙම....මෙහෙ අලි වෙඩි මිසක් කවුරු අදින්ඩද බන් අලින්ට කරන්ට් වදින කම්බි....මෙලෝ දෙයක් නොදන්න ගෙන්දම් පොලොවෙ එවුන් අපිට බනිනවලු අපි ගිහින් උන්ගෙ තැන් අල්ලගත්තා කියලා...අපි කවද්ද බන් උන්ගෙ එවුන් අල්ලගත්තෙ වැහි බිදක් නොදකින මහපොලව ඔරොප්පු ගත්තම උන්ට විතරක් නෙවෙ අපෙ බඩත් පිට කොන්දට ඇලිලා යද්දි උනුත් එලි බහිනවා බඩකට පුරවගන්ඩ කියලා...

අත් එකතු කරලා වැදලා කිව්වත් අද වෙනකන් උන්ට බැරි උනා අපි කියන කතා තේරුම් ගන්ඩ.....එක්කො මවාපු එකාට තිබුනා හැමෝටම කතා කරන්න එක බාසාවක් දීලා මවලා අහවරක් කරන්න.....උන්ට අපිවත්. .අපිට උන්වත් තේරෙන්නෙ නෑ බන් ඒකයි වෙලාවකට උන්ගෙ හොඩපාරට පපු කැහුතු එලියට එන්නෙ.....

මං උඹට හුගාක් දේවල් ලියන්ඩ එකතු කරන් උන්නා ...

ඒත් දැන්....???

හති දාන්ඩ කලින් උඹගෙ පපුව නැවතුනාද...?උන්ඩ පාර පපුව හිල් කරන් පිටෙන් මතුවෙනකොට උඹට අඩි හයක් යට මහපොලවෙ පසෙ සුවද දැනුනද.....උඹ මැරුනා නම් හුස්ම යනකොට උඹට මාව මතක් උනාද...???උඹට හුගක් රිදුනද....පිට හිල් කරන් පපුවෙන් නෙවෙ පපුව හිල් කරන් පිටෙන් මතුවෙනකොට උඹගෙ ඇස්වලට කදුලු ගගක් ඉනුවද.....බෙනේ ගාව දැන් තියෙන්නෙ ප්‍රශ්න විතරයි සමනා...උත්තර තියෙන්නෙ උඹ ගාව... .

සමනා...ඒක එහෙම නම්....සංසාර චක්කරේ මේකයි කියලා හිත හදාගන මං උඹට වයධම්මා සංඛාරා කියලා කියන්නද.....?ඒ නැත්තන් ආයම අපි අතරෙම ඉපදියන් කියන්ඩද .....

එක අතකට අපි අතර ඉපදිලා මක්ක කරන්නද බන්...ආයම පාරක් මැරිල යනකොට හුගක් රිදෙනවා...මොකද මිනිස්සු මැරුනට කවදාවත් මතක මැරුනයි කියලා කවුරුත් කියනවා මං අහල නෑ .....උඹ මැරුනලු....

සමනා

කෝ රත්තරන් උඹගෙ මතක වල මලකදන්?මිනිස්සු මැරුනට වඩා රිදෙන්නෙ උන්ගෙ මතක සැරින් සැරේම පපුව කොනිති ගහනකොට

අප්පුච්චා ....මලක් දෙකක් ගන්ඩ නැතුවයි....පෙති තැලුනත් කාරි නෑ...මට මලක් දියන්

ඇතුලෙ බලපන්....

යන්ඩ ඔන්න මෙන්න තියල මං ආයම ඇතුලට යන්ඩ හැදුවා....සමනා නැති බව දැන දැනම උනත් මට ඌ වෙනුවෙන් මලක් දෙන්න ඕන උනා...කරුමෙට උන්ගෙ ලෙයින් පන ගහන පොපි මල් නැති උනා....තිබුනෙ මැද කහ ගත්ත අරලියාවක්....ජාති ජාති ඉන්ග්‍රීසි නම් පැටලුන මල්වලට මේ පූටකෙ ඔරොත්තු දෙන්නෙ නැතිකොට මලුත් බෑකියනවලු කාටක පොලවක මල්වඩමක මැරිලා යන්න...මල් උනත් කැමති සැප පහසුවට මලගම් යන්න .....මෙහෙ කොහෙද සැපට මලගම් යන තැන්.....

මං ගිහින් එහා මෙහා වෙලා පෙති තැලිලා තිබුන මලක් ගත්තා.....

විහිලුවට කාරනාව නම්....

පනගහන මල් බෙල්ල මුලින් කප කපා මල් මර මරා වඩමට එකතු කරන එකෙක් උන මමම අද තැලුන පෙති පවා හරි පරිස්සමට අත ගගා අවසානෙදි මල් දෙක තුනක් එකට තියලා පූට්ටු කරන් උගෙ පෙට්ටිය උඩට තිබ්බ එක.....ඌ නැති උනත් ඌවෙනුවෙන් සැරසුන පෙට්ටිය උඩින් මං මගෙත් උගෙත් යාලුකමට මලක් තිබ්බා.....

පලු දෙකෙ දොර ආයම වැහිලා ගියා...මනෝරත්න මුදලාලිගෙ ඇල්මැරුන එලියක් ගත්තු ටෝර්ච් පාර ඈතින් පේනකොට කනාමැදිරි එලි වගේ තිබුන හර්ස් ලම්පු ආයම ඇවිලුනා.....ලාම්පු ගැස්සෙනවා...ආයම ඇවිලෙනවා..මලමිනි ඇදලා ඇදලම හර්ස් එකත් මැරෙන්ඩ අහනවා....

පොඩ්ඩක් ඉදපන් නිවන් යන උන්ව අදින උඹත් කාටත් කලියෙන් නිවන් ගියහම එතනිනුත් අසරන වෙන්නෙ හුස්ම ගන්න පරඩැල් වගේ මිනිස්සු...

වම් හක්කට තදවෙලා තිබ්බ බුලත් චප්පෙ දකුනු හක්කට මාරු කරාපු අප්පොච්චා මගෙ දිහාට පුවක් කෑල්ලක් දික් කරන ගමන් එලියට කෙලපාරක් ගැහුවා.....වැලි බිදක් නැති කට්ට පොලව රතුපාට වෙලා යන්ඩ ඇති.....ඔය රතුපාට හෙට උදේ වෙනකොට මැරිලා තියේවි...

කටස්....

දත්වලට හිර උන පුවක් කෑල්ල කැඩිලා යනවත් එක්කම මගෙ කටෙන් හිරියක් ගියා ...හීන් සීරුවට කපාපු හර්ස් එක ආපිට පාරට දාපු මං බූටෑවට කැලෑවැදුන මූසලකම උතුරන කැලෑපාර දිගේ සමනගෙ පැල්පතට යනවත් එක්කම අනූ අටයි දශම අටත් පාලුවට ගියා.....එයාගෙ මැදිරිය අන්දකාර වෙන්න ඇති.....

දැන් ඉතින් හැම දේම පාලුයි....

වෙලාව රෑ මැදියම පටන් අරන් තත්පර හැටෙ වාර පහ හයක්ම ගෙවිලා හමාර වෙද්දි අවසානම සින්දුවත් එක්ක එයා යන්න ගියා....එයා යනවා එක්කම මාව තව තවත් තනි උනා වගෙ....එයා ගියා හැබැයි නිකන් නෙවෙ,

"ආයම හෙටත් එන්නම් ස්තූතියි අහන් උන්නට...වගේම මේ ප්‍රේම කතා දරන් උන්නට ....මම සියපත් ආකාස "

කියාගන.....එයා යන්න ගියා...හැබැයි හිස් වේගන යන උන්ට තවත් සින්දුවක් දීගන....අවසානම සින්දුව වියපත් බඹරෙක්ගෙන් නාඹර පැටික්කියෙක්ට!ආදරේ ගාවදි වයස කියන්නෙ ඉලක්කමක්...උතුරන්න ආදරෙ තියන තැන්වලදි අනිත් කාරනා හැම දේම පුස්සක්...

එයා අවසානෙටම කියෙව්වෙ හරිම පුංචි ලියමනක්.....වචන සීමිත ගානක් ඒත් එයාගෙ කටහඩ එක්ක සීමිත වචන අස්සෙන් අසීමිත හැගීම් ගොන්නක් කාන්දු උනා....එයා කතා කරන වචනයක් වචනයක් ගානටම හරි ලොකු හිස්තැනක් තිබ්බා.....හරි ලොකු හුස්මක් ගත්තා...මේ මනුස්සයා අනුන්ගෙ ආදර කතාවලට තමන්ගෙ හැගීම් ස්වකැමැත්තෙම්ම වියදම් කරනවා...

අනුන්ගෙ ආදර කතාවලට තමන්ගෙ ඇස් ස්වකැමැත්තෙම්ම අඩවනව....ඒක මට වෙලාවකට දැනෙනවා.....

වෙලාවකට අර වචන වලට තව බර දෙන්න පැත්තක පායපු හද ගැන කියනවා....මහ රෑ තනිකම ගැන කියනවා.....ආයමත් ලොකු හිස්තැනක් තියනවා.....මැදියම පටන්ගන්නකොටයි ආදරෙ බරම නිල පනගහන්නෙ කියලා හරි බරට එයාම කියලා අහන් ඉන්න උන්ගෙ හිතුත් බර කරන් මහ බර හුස්මක් අරන් ඒකත් සද්දෙට පිට කරනවා....ආයමත් හිස්තැනක් ඉතිරි කරනවා...

රෑ බෝවෙන්න වෙන්නම ඒ හිස්තැන මගෙ පපුවට මහ බරක් එකතු කරනවා එයා නොදන්නවා උනාට...

වචනයක් කියනවා හුස්මක් ගන්නවා....තත්පර දෙක තුනක් එයා එක්ක මුලු මැදිරියම නිහඩ වෙලා යනවා.....එයා නොදන්නවා උනාට හැම රෑකම එයාව අහන් ඉන්න මේ වේලුම්කාපු මහ පොලවෙ ඉන්න මාවත් ඒ එක්කම හිස්වෙලා යනවා...දැහැනට සමවැදීගන අහන් උන්නට මොකද ඈතින් කොල පොඩි වෙන සද්දයක් ඇවිදින් මගෙ දැහැනත් හැගීමුත් බයගන්නලා යනවා....බර අඩි හොඩවැලෙන් පිඹින සද්දෙ එනකොට එකපාරින් කැඩිලා යන මැටි ගෙට මං බඩගානවා.....ආසාවෙන් අහන් උන්න මගෙ ආසාව බය ගාවදි එම්බාම් නැතුවම මලගම් යනවා....

විස්වාස කරන්න....ප්‍රාතිහාර්‍ය හා සමානව ලොකු හිස්කමකින් පස්සෙ එයා හිනාවෙනවා ඇහෙනවා...කොලපොඩිවෙන සද්දෙත් එක්ක බය වෙච්ච මගෙ හදවත නොහිතන වෙලාවක ඇහෙන අර හිනාව එක්ක හීන් සීරුවට නිවීගන යනවා...හොදවෙලාවට මං එම්බාම් එක නොගැහුවෙ හිතෙනවා ...

එයා යන්න ගියා....අහන් උන්නට දරන් උන්නට ස්තූතියි කියලා හරි ලස්සනට එයාගෙ නම කිව්වා....

"සියපත් ආකාස"

මං උඹ ගැන හිතන එකත් අපරාදයක්ද කොහෙද ....කව්ද කින්ද මන්ද නොදන්නවා උනාට මගෙ අත්වලින් මල් මැරෙන තරම දන්නෙ මම විතරක්ම වෙනකොට මට උඹගෙ කටහඩ අහන එකත් වටින් නැද්ද කොහෙද ....උඹත් සියපතක් වගේම මලක් වෙන්නත් ඇති.....

නම වගේම උඹත් මලක් නම්....

මම ඇවිදින් නිලමැස්සෙක්....වරුවක් නෑවත් ෆෝමලීන් සැර ඇග වටේ කැරකෙන...

මලකට බඹරෙක් සමනලයෙක් වහනවා ඇරුනම මලක් කවදද රොන්දුන්නෙ නිලමැස්සෙක්ට?

සමාජ සම්මතෙ මලට බඹරෙක් විතරක් වෙනකොට මුද්‍රණ දෝශෙකින් වත් මලකට නිලමැස්සෙක් වැහුව කතාවක් වැරදිලාවත් තිබුනද ප්‍රේමිය??

එයා යන්න ගියා...නාඹර කැකුලක් වෙනුවෙන් අසීමාන්තිකව ප්‍රේම කරන වියපත් බඹරෙක්ගෙ ආදරේකට ලියවුන වචන ගොන්නකට කවාපු තනුවත් අහගන මං අප්පච්චි එක්ක සමනගෙ ගෙදර යනවා.....

මගෙ පුංචි රෝසමලෙ මමයි

නුඹෙ වියපත් බඹරා...

නුඹ හීනෙන් වත් නොදකින කුමරා.....

මොනවා උනත් ඒ ළපටි මල හරි වාසනාවන්තයි.....

ගෑනු හිත් වගෙ නෙවෙ පිරිමි හිත්....

ඉදලා ඉදලා උන් ආදරෙ එලි දානකොට ආය අහල ගම් හතක වත් ඉන්න ඕන නෑ...

ගෑනු ආදරෙයි...ගෑනුන්ගෙ ආදරෙත් අසීමාන්තිකයි ඒත් පිරිමි....

විරහවත් හරි අපූරුවට දරාගන්න පිරිමින්ගෙ ආදරේ...ඒක වෙනමම රහක්...

"කලුවර රෑ හදක් වගෙ අහසෙ

නුඹ ඉන්නවා නම්..."

ස්ටියරින් වීල් එක උඩ තිබුන මගෙ ඇගිලි හීන් සීරුවට තාලෙ ඇල්ලුවා....අනුන්ගෙ ආදර අන්දර විරහා වේදනා අහලා අහලා අවසානෙදි මට තේරුන මගෙත් පපුවෙ වම් පැත්ත බර වේගන එනවා...

ඒ තත්පරෙම්ම මගෙ කට කොනින් හිනාවක් මතු උනා...මේ ගමෙන් නෙවෙ මට අහල ගම් හතකින් එහා පපුවකට වත් ආදරෙ කරන්න බැරි වෙයි....හේනක් කොටන එක නම්බුයි මිනි කපන එකෙක් එක්ක යනවට වඩා...ඔහොම කතා හුගක් මං අහලා තියනවා.....

මා පුතා...

අප්පුච්චා මට දියන් එක තත්පරයක්.....

මෙච්චර වෙලාම නාඹර මලක් වැයුන ප්‍රේම ගීය අහගන ආව මං සුදු.කොඩි වැලක් පටන් ගන්න සමනගෙ ගේ ඇස් මායිමෙ තියාගන හර්ස් එක නැවැත්තුවා...

මක්කද උඹ ඔය කරන්ඩ හදන්නෙ....

මට දෙයක් ලියාගන්ඩ ඕන අප්පුච්චා ...මේක දැන් ලිව්වෙ නැති උනොත් මට වචන අමතක වෙනවා...

සමනගෙ ගෙට හූවක දුරවත් නෑ මා පුතා...ආපිට යන්ඩ ඕන.....උඹගෙ අම්මයි පොඩි එකියි තනියම ඒ ගෑනිගෙ බඩේ බිත්තර පැහෙනවා ඇති...කරන මගුලක් කරපන් මේක බෑවට පස්සෙ....මිනිය නැති උනාට මේක මිනිවලටම අරගත්ත වාහනෙ...ෆෝමලීන් ඉවටත් යක්කු එනවා මූකලාන් මැද.....

...

තොට පිස්සුද කොල්ලා?එහෙමවත් අහන්ඩ??

මං අහගන අප්පුච්චා දෙස් දෙවොල් තියනවා....ගෙදර ඉන්න අම්මවත් උපතිම්ම අබ්බගාත උන ඇවිදිගන්න වරම් නැති තට්ටමෙන් බඩගාන නංගිත් තනියෙන් ගගා බනින අප්පුච්චා අනිත් පාර මට පිස්සු කිව්වා...

ඇත්ත අප්පුච්චා ට නෙවෙ ඕන මනුස්සයෙක්ට් ඓහෙම හිතෙනවා...යක්කුන්ට අරක් ගත්ත හෝරාවක මොකාද පෙට්ටියක් පස්සෙ තියාගන ප්‍රේමවදන් කොලේක අමුනන්නෙ....

රෑ අහසෙ වටකුරු හද පායලා...එයා කිව්වෙත් මේ හද ගැනමයි...සැරින් සැරේම හිතුමනාපෙට හදට හාදු තියාගන වලාකුලු සක්මන් කරනවා.....කන්දකපාගන ගලන්න චන්දන රැලි නැති උනත් මක්කද සත්මහල් ප්‍රාසාද පහුකරාන චන්දන රැලි අහුරක් නම් එයා වෙනුවෙන් ගලන්න ඇති....

සමහර විට හදපායන්නෙත් එයා වෙනුවෙන්ද කව්ද දන්නෙ...

සියපතකට හද එලිය කියන්නෙ මොනතරම් ලස්සන දෙයක්ද...

පායපු හද දිහ තත්පර දෙක තුනක් බලාහන උන්න මං පාන්ඩු පාට කොලේ උඩ වචන දෙක තුනක් ලියාගන ගියා.....ඒවල ගැලපීම් අන්තීමයි...

රසයක් ඇත්තෙම නැති තරම්.....

මං වගේ මනුස්සයෙක්ගෙන් මොන ආදර වදන්ද?

" හදවතෙ කුටීර හතරෙම ආදරෙ පිරිලා උතුරන්න ඔන්න මෙන්න

කරුමෙක මහත,කාටවත්ම බැරි උනා හතරම බැරි උනත් එකම එක කුටීරයක් වත් හිස් වෙන්න ආදරෙ ගන්න...

දවසක මාත් මලගම් යයි....

ඒ යන දාක මට බයයි බාල පෙට්ටියෙ හදවත තියන හරිය බරටම කඩාවැටෙයි කියල...

මැරෙන්න කලියෙන් මං කියන්නෙ...

කවුරු හරි ඇවිදින් හතරම බැරි නම් එක කුටීරයක් හරි හිස්කරන්න....

(බෙනෙ)

අහවරද ඔය මැලවිල්ල....

හරි....

මය හිනහග ගියා.....කවදාවත් නැතුව මං නොදැකපු මනුස්සයෙක් වෙනුවෙන් බහුබූතයක් ලිව්ව...මේකෙ අකුරු හරිද...රස හොදද මේ මොකක්වත් මන්.දන්නෙ නෑ.....ඒත් මං අවසානෙදි මගෙ නමත් ලියලා කොලේ නවාගන සාල්කුවට ඔබාගත්තා....

අප්පච්චි බලාගන ඉන්නවා...නිදිමතට මහන්සියට...ලී කුඩු ගිහින්...ෆෝමලින් සැර මේ ඔක්කොටම ඒ ඇස් රතු වෙලා...සබන් පොත්තක් අතුල්ලන් මඩ විතරක් තුරුල් කරන් ඉන්න වැව් වතුරෙ ගිලිලම ඒ මුදු මුදු කොන්ඩෙ තවත් ගොරෝසු වෙලා...අප්පච්චි මැලවිල්ල අහවරද අහනවා.....

අප්පච්චි ....

හ්ම්...

කාලෙකට කලින් උඹ හුගක් ලස්සනට ඉන්න ඇති නේ?දැන් නිකන් බාගෙට මැරිලා වගේ

මැරිලා වගේ නෙවෙ මැරිලා තමයි ,පිස්සු නැතුව ඕක ස්ටාර්ට් කරපන් ....මේක දෙන්නෙ හෙට උදේද...උඹගෙ අම්මට හෙට වැදුම් ගේකට යන්න තියනවා ඒකිව ගිහින් අරින්නෙ අන්ද්දටද...උඹ මෙතන බහුබූත ලියනවා....

මට නෝක්කාඩු කියාපු අප්පච්චි අහක බලාගත්තා...මන්දා අප්පච්චි දකින වාරයක් පාසාම මට මතක් වෙන්නෙ මහේන්ද්‍රන් පෙරේරව...ඒම මූනුවර....ඒම මුදු ගැහුන කොන්ඩෙ...ඒම ඇගපත.....ඒම ඇස්....මගෙ අම්මට තිබුනෙ චාන්දනි සෙනවිරත්න්ගෙ හැඩ හුරුව...බඩට වේල් තුන වැටුනා නම්...මඩ වතුර වෙනුවට රහ වතුර බිදක් වැටුනා නම්...මේ මිනිස්සුත් නලු නිලියො තමයි...

ඒත් කරුමෙ කියන්නෙ මේ රගපෑම් කොයි තරම් තාත්වික උනත් මේ වලට සම්මාන නැති එක....ග්ලිසරින් කදුලුවෙනුවට ඇත්ත කදුලු කැට ඉනුවත් ඒ කදුලු කැට දකින්න කවුරුත් නැතිඑක......අප්පච්චි කියනවා මැරිලා වගෙ නෙවෙ මැරිලා තමයි කියලා ...ඇත්ත මිනිස්සු මැරෙනවා කියන්නෙ හුස්ම යන එක විතරක්ම නෙවෙ....

අනිත් උන් කෙසෙ වෙතත් මම දන්න උන් ගැන කියනවා නම් මගෙ අම්මා අප්පච්චි මම දැනටමත් මැරිච්ච එවුන්.....හීන බිදීගන යනකොට මැරිලා යනවා...ලෙන්ගතුකමින් වචනයක් කතා කරන්න කෙනෙක් නැතුව මිනිස්සු මැරිලා යනවා.....ආදරෙ කරන්න කෙනෙක් නැතුව මිනිස්සු මැරිලා යනවා...මිනිස්සු කරන්නෙම දවසින් දවස මැරිලා යන එක ....ඔය වැටෙන්නම් වාලෙ හුස්ම වැටෙන එක.....අවසානෙදි හුස්ම නැවතුනදාට නාඩි නොවැටෙන මලකදෙ තනියට හුස්ම ගන්න මල්වල හුස්ම උදුරන් උන් එක්ක යන්න යවන එක...

මොන විහිලුවක්ද....ජීවත් වෙලා ඉන්න කාලෙ ඉන්නකොට නොදුන්න මල් උන් හුස්ම නැති දාට වඩම්වලට එකතු කරනවා...

බැරි වෙලාවත් හුස්මත් හිතලා ගන්න තිබුනා නම් හුගක් මිනිස්සු මේ වෙනකොට මැරිලා...මං ,වලදාපු තැන ගසුත් පැලවිලා...

මිනිස්සු ජීවත් වෙනවා කිය කිය කරන්නෙම ජීවත් වෙන්නත් මැරෙන එක ...එක අතකට ජීවිතේට වඩා මරනය සුන්දරද කොහෙද ....නැහෙන්න දෙයක් නෑ....වේදනා නෑ...බලාපොරොත්තු නෑ...කවුරුත් වෙනුවෙන් වත් බලාහිදීම් නෑ මෙ මොකුත් නෑ...වාරුවෙන්න ඕනම තැන වාරුවෙන්න උරහිසක් නෑ කියලා ලතවෙන්න දෙයකුත් නෑ.....

කොහෙන් කියලා හැගීම් දැනීම් ඇතිවෙන්නද...හදවත උනු උනුවෙම උගුල්ලලා එලියට ඇදලා ගන්නකොට .....කල්පනා වෙන්න දෙයක් කොහෙන් එන්නද ඔලු කටුවෙ පාලුවට ලීකුඩු තනි රකින්න එනකොට ...

අකුරක් දෙකක් අකලට වහින වැහි හා සමානව ඔහෙ ගැට ගැහුව මං අනිත්පාර අප්පච්චි දිහා බලාගනම වාහනෙ හීන් සීරුවට කොඩිවැල් යටින් සමනගෙ මැටි ගෙදර දිහාට දැක්කුවා...

පිල්කඩ කැඩිලා ගිහිල්ලා.....සමනා ඉන්නකොට හෙවිලි කරාපු වහලෙ පොල් අතු දිරලා ගිහින්......අලි ගහලම කැඩෙන බව දැන දැනම ඉන්දවපු ගිනිසීරියා ඉනි එහටත් මෙහෙටත් වෙලා....

ආන් ගෙනාවා....සමනගෙ අම්මෙ.....

හර්ස් එක නවත්තනවත් එක්කම පිල්කන්නෙ උන්නෙ එකෙක් ගෙට දුවලා ආන් ගෙනාවා කියනකොට කටෙ තිබ්බ චප්පෙ හන්දා කටට උනාපු කෙල අහුරක් කටට ඇගිලි දෙකක් තියලා කැඩුන ඉනි වැට පැත්තට ගහපු මං අප්පච්චි එක්ක් ගිහින් හර්ස් එකෙ පස්සෙ දොර ඇරියා...

දෙනෝ දහක් නැති උනත් එක අතකට අහුරක් හිටින්න ගන්න පුලුවන් මිනිස්සු එහෙන් එබෙනවා මෙහෙන් එබෙනවා....තවමත් එහෙම්මයි කෝපි සුවදක් තියා කොත්තමල්ලි සුවදක් යන්තමට වත් නෑ...

හීරෙන්නෙ නැතිවෙන්න රෙදි කෑලි වලින් හීන් සීරුවට පෙට්ටිය එලියට ගත්ත මාත් අප්පච්චි ත් අර කැඩුන ගෙපිලට වැඩි බර නොදි ගෙට ගොඩ උනා...

මේ අස්සෙ කඩතොල්ල බැදුන උන්ගෙ පිලත් කැඩුනොත් කවුරු කියලා පස් කපන්ඩ යන්ඩද....අම්මෙක් උන වේගෙට වඩා වැන්දඹු උන සමනගෙ ගෑනි යන්ඩ කියලද....ඒත් නැත්තන් දර ඉපලක් වගේ ඉන්න සමනගෙ අම්මා යන්ඩද ඒත් නැත්තන් ඔලුවටත් ඉහලින් උස හැරමිට්ටට සරීර බර දීගන කොච්චර වාත් කොහේ හරි අනන්තයක් නැති බැල්මක් එක්ක බලාගත්ත අත බාලගන ඉන්න සමනගෙ අප්පච්චි හදන්ඩද ...

මිනීපහන ඇවිලෙනවා....වෙන්දට තිබුනෙ ගෙටම එක කුප්පිලපුවක් උනාට සමනාට මැරෙන්ඩම උනා ලන්තෑරුම් එලියක් පිලිකන්නෙට වැටෙන්ඩ ..... සීතල යන්ඩත් එක්ක සින්හකොඩියපොරවාපු සීල් කරාපු පෙට්ටිය යකඩ කකුල් උඩ තියනවත් එක්කම මාව ඉස්සරහට තල්ලු වෙලා ගියා .....

සමනගෙ ගෑනි....

වෙන කවුරුත් නෙවෙ තවම ලේ සුවද වත් නොගිය අර දරු පැටියව සමනගෙම දෙකට ඉරාපු සරමකින් ඔතාගන ඇවිදින් පෙට්ටියට වාරු උනෙ සමනගෙ ගෑනි....

ඒකිගෙ ඇස් තනිකරම බොරපාට වෙලා.....යට ගියාපු ඇස්වල පාලුව මකන්ඩ හිදීගන යන වැව් යාන්ගෙ වතුර කදටත් වඩා කදුලු ගංගාවක් ඒ ඇහිදාර පන්නාගන හකු පැදුන කටු පෑදුන කම්මුල් තෙමාගන ගිහින් අර පෙට්ටිය උඩට වැටුනා....

කිරිදරුවා අඩනවා....සමනගෙ ගෑනිගෙ සර්වාගෙ දිහා බැලුවම කිරෙන් බර වෙන්න ඕන දෙතන තනිකරම අව්පූටකේට කරවෙලා යන නියන් වැටකොලුවක් හා සමානව ඇකිලිලා ගිහින් තිබුනා...

කොල්ලට බඩගින්නෙ එක්කො .....

මට ඔයින් එහා මොකුත් හිතුන් නෑ....සමනගෙ අම්මා ගොලු වෙලා....වචනයක් කියන්ඩ වත් උන්දගෙ කටහඩ එලි බැස්සෙත් නෑ.....අර ගෑනිගෙ ඇරුනම වෙන ඉකිබිදුම් මොකුත්ම නෑ.....වෙන කවුරුත් අනේ අපොයි කිව්වෙත් නෑ...උන්ගෙ ඇස් තිබුනෙ සීල් උන පෙට්ටියට වෙනකොට මං අහගන ඇත්ත දැන දැනමදො එකෙක් මගෙ අප්පච්චි ට කිට්ටු කරලා හුගක් ඩැමේජ් ද අහනවා....එක්කො උන්ට ඕන නෑ මෙතන මිනියක් නෑ කියලා මගෙ අප්පච්චි ලව්වා එලියට අරගන්ඩ....

නොකියා උන්නත් ඒකත් උන්ට එක්තරා සහනයක් වෙන්ඩත් ඇති....මිනියක් නෑ කියන එක අස්සෙන් උන්ට සමනා තව දුරටත් මේ ලෝකෙ නැ කියනවට වඩා ඌ මේලෝකෙ කොයි කොනක හරි ජීවත්වෙනවා වෙන්නත් පුලුවන් කියන බලාපොරොත්තු ව එක්ක හුස්මගන්න ඕන ඇති....

මං බලාගන උන්නා ...අත්දෙක පපුවට වෙනුවට පහලට කරන් එකට පටලන් මං සමනගෙ පැටියා දිහා බලාගන උන්නා ....සුදුයිකියන්න බෑ....කොල්ලා මඩපාටයි.....අතට අරන් සමනගෙ සුවද එනවද කියලා ඉඹලා බලන්න හිතුනත් මට බය හිතුනා.....මගෙ අත්වලට කිරි දරුවො අකැපයි හිතුනා.....

චූටි ඇස් වල කදුලු නෑ ...ඒත් කොල්ලා රැහැයියා වගේ අඩාගන ඉන්නවා...පොඩි උන් අඩනකොට කොයින්ද කදුලු ....

උඹ දැන්.... අප්පච්චි කෙනෙක්....දෙයි ....යො....

පෙට්ටිය උඩට උනු කදුලු කැට ලෝබ නැතුවම කඩා වැටෙනවා...අහලගම් හතක් පවා යටකරන්න පුලුවන් කදුලු සාගරයක් ඒ ඇස්වලින් කඩා වැටෙනකොට අනිත් උන් අහුමුලුවල ඉදන් බලාගන උන්නා...ඒකිගෙ විලාපෙන් විතරක් මැටිගෙදර පිරිලා යනකොට මට බය හිතුනා දිරාගන යන වහලෙ සමනගෙ අම්මගෙන් පිටවෙන ගිනියම් උනුහුමෙන් ගිනි ගනී කියලා....

මලගමට කලින් පයින්ඩෙ එවාපු උලලේනියාගෙ විලාපෙත් ඉදහිටක වතුර හොය හොය දෙස් දෙවොල් තියාගන යන කෑරලෙක්ගෙ සද්දෙත් රෑ බෝවෙන්ඩ බෝවෙන්ඩ හතර වට අරක් ගන්න වන්ඩිල්ලන්ගෙන් එන ක්‍රෑස් ක්‍රෑස් ගාන සද්දෙත් ඈතින් ඇහෙන වෙඩිල්ලක් පත්තුවෙන සද්දෙත් මේ හතර වටම යටත් කරන් ඉන්නකොට අර විලාප අහන් ඉන්න බැරිම තැන මං එලියට ආවා....

හද එලිය වැටිලා.... රටා තියල අතුගාන්ඩවත් වැලි නැති කට්ට ගැහුන පොලව පුරාවටම හද එලිය වැටිලා හිනියට ගහගන යන හුලන් රැල්ල පුරාවටම රෑ හීතලත් ඔතාගන වෙනකොහෙට්ටද යන්න යනකොට මං බලාගන ඉස්සරහම තිබුන මහ රූස්සෙට හැදුන අවුරුදු ගානක් පරන සියඹලා ගහ යට තිබුන දිරාපු කොටෙ උඩ සමනගෙ තාත්තා දිගක් පලලක් කෙලවරක් මේ මොකුත්ම නැති බර කල්පනාවක ගිලීගන උන්නා....

හුස්ම වරදින්නෙ නෑ වගේ වරදින්නෙ නැති ඉහටත් උඩින් උස අර ලීරිට.....පාට ගියාපු සරම.....රෑ හීතලෙන් කබල් පපුව වහන් කරාපු ගොරහැඩි රෙදි කඩ ....පැනිපාට කොන්ඩෙත් පැනිපාට රැවුලත් විසිහතර පැයම ලේ නාලිකා ඉලිප්පුන බොරපාට ඇසුත් තිබුන සමනගෙ තාත්තා වැටකඩුල්ල දිහාවත් බොරලු පාර දිහාවත් බලාගන ඉන්නවා...මේ ඔක්කොම එක්ක තවමත් අර හීතල හුලන් රැල්ල වෙන කොහෙට්ටදෝ යන්න යනවා...හිස් අතින් යන හුලන් රැල්ලට බැරි උනා කාගෙවත් දුකෙන් අහුරක් අරගන උන්ව ඩින්ගිත්තකට වත් සැහැල්ලු කරන් යන්න....

එක අතකට සියපත් කියන්නා වගේ හුලගට තියන එකම රාජකාරිය පෙම් සුවදත් මල් සුවදත් අරන් යන එක විතරද කොහෙද .....

තත්පර ගානක් සමනගෙ තාත්තා දිහා බලන් උන්න මං කිරිසප්පයගෙ ඉකිය අහගනම ගිහින් සමනගෙ තාත්තා ගාවින් ඉදගත්තා.....

"ඒකා මැරිලා නෑ බන්...."

උන්දා මා දිහාවත් බැලුවෙ නෑ....වචනයක් කතා නොකරන ජීවිතෙන් හරි අඩක්ම බලාගත්‍ත අත බලන් උන්න මේ මනුස්ස පරානෙ මං එතනින් ඉදගන්නවා එක්කම ඒකා මැරිලා නෑ බන් කියලා කට වහනවත් එක්කම ගව් ගානක් ඈතින් තියන අහස්ගර්භෙ පායපු හද පුලුන් වලා කැටියකින් වැහිලා ගියා වගේම ගෙයි ඉස්සරහින් ට්‍රැක්ටර් එකක් ගියා....

වෙනකාගෙවත් නෙවෙ හමුදා කොල්ලන්ගෙ....රෑට රෑවෙලා යන ට්‍රැක්ටර් .....හවහට හවහට මූකලානට යන ට්‍රැක්ටර් මෙ ඇස්වලට හුරු මම ට්‍රැක්ටර් එක යන දිහාව බලාගන සමනගෙ අප්පච්චි කිව්ව කතාව කල්පනා කරන ගමන් කාටවත් නොකියන දෙයක් උන්දැට කිව්වා ....

අපි සීල් කෙරුවෙ කෙහෙල් කොටදෙකක් බන්...

......

 ........

බරවෙච්ච හුස්මවල් දෙකක් ඇටපැදුන නාඹර පපුවෙනුත් පරඩැල් උන හවස් යාම් පපුවෙනුත් එලි බැස්සා...නිකන් නෙවෙ වහන් උන හදත් ඒ තත්පරේදි ආයමත් අර සියඹලා ගහයට එලිය කෙරුවා.....

හෙට අනිද්දා දොහ ගමට අලුත් ගුරෙක් එනවලු...

ගුරුගෙදර කියන්නෙ නැවතුම...

වෙනකොහෙ කියලා නවතින්ඩද බන්...මොකො මෙව්වා රාජමාලිගාවෑ....

ඔය ආවත් මහක් වත් ඉදීද කව්දෑ දන්නෙ....දොහක් ඉදී...දෙදොහක් ඉදී.....පහු දාට කාටහරි ආපිට ලන්ගමේට ගිහින් අරින්ඩ වෙයි...

මං උන්නෙ මගෙ දනිස්පොල්කටු දෙකට නිකට තියාගන...සමනගෙ තාත්තා තනියෙන් මුමුනවා.....සීල් කෙරුවෙ කෙහෙල් කොට දෙකක් බන් කියාපු මගෙ දිහා බලපු උන්දාගෙ මූනෙ එවෙලේ හිනාවක් ඇදෙනවා මං හොදටම දැක්කා.....

මරනෙට ආව උන් හූල්ලන එක පැත්තක දාලා ගමේ ගොඩෙ විස්තර කියනකොට උඩුම්ගම් බලාගන හබල් ගාන හුලග හන්දම නටුවෙන් ගැලවිල මහපොලවෙ හැපිල මැරිලා යන්න බලාන පාවෙලා ආව සියඹලා කොලයක් මගෙ කකුල් උඩට වැටුනා...මං කොලෙ අරන් කටේ ඔබාගත්තා....

ඇබුලක් දැන් ගෑවිලාවත් නෑ..මෝරලා...ඇඹුල මැරිලා ගිහිල්ලා.....

බුලත් හපේ තිබුන කටටම සියඹලේ ඔබාගත්ත මගෙ යටිහිත සියඹලේට දෙස් තියන්න ගත්තා...

එක අතකට ගහට බැනලා වැඩකුත් නෑ...රහක් හිටින්ඩ වැහි බිදක්වත් වැටෙනවද ....අහසත් මේ හතර දිග්බාගෙ එක්ක ඔරොප්පු වෙන්නෙ අපි ඉපදෙන්ඩත් කලියෙන් ඉදන්....ඇරත්...මට මොන අයිතියක්ද රහක් නෑය කියන්ඩ....

ඉස්කෝලෙන් නැවතුන දා ඉදම්ම කටේ තනියට නැවතුන බුලත් හපේ හන්ද මගෙ රස අංකුර මලගම් ගිහින් කොයි තරම් කල්ද...

අලුත් ගුරෙක් එනවයි කියන්නෙ.....ඕකත් සතියයි දෙකයි....අලුතෙන් පත්වීම් අරගන කීයක් නම් ආවද...සතියක් උන්නෙත් අඩ අඩ...අලිගහනකොට කී දෙනෙක්ගෙ නම් පන යන්න ආවද...මට අද වගේ මතකයි නැටුම් ගුරීට අලියා දැකලා පාර මැදම කලන්තෙට ආවා....දලදා පෙරහැරහෙ අනන්තවත් ඇත්තු දැකලා තියේ කිව්ව ගුරීට ගල්පොත්ත හන්දියෙදි කලන්තෙ ඇල්ලුවා.....

දලදාවට කොහෙන්ද කුලප්පුන ඇත්තු....ඉදහිටක කුලප්පු උනත් උන්ගාව තියන ස්‍රද්දාව මෙවුන්ටන්කොහෙද....අනක් ගුනක් නෑ .. යන මග උන්නො‍තින් කරවලා අරන් පොලෙ ගහයි....එක්කො කකුලෙන් තද කරයි...ඒත් නැත්තන් බිමදාලා ඔලුවෙන් තද කරන් ඉදී...බඩ බොකු එලි පනිනකම්ම ඔලුවෙන් තද කරන් ඉදි....අවසානෙදි පන ගියාට පස්සෙ ඒකම මලකද ගෙනියන්ඩ එනකන් කැලෑ අත්තකින් මලකද වහලා ඒ හතර වට ඇවිද ඇවිද මිනිය ගාව තනි රැකලා කවුරු හරි ආවට පස්සෙ යන්ඩ යයි.....

ඔව්වට හුරුවෙයිද පිටගම් ඈයො??

උඹ ඔය කොහෙද යන්ඩ යන්නෙ...

මග දුරකට ගියපු මගෙ කල්පනාව බිදිලා ගියා...වෙනමොකටත් නෙවෙ මෙච්චර වෙලාම පාලු පාර දිහා බලාගන උන්න සමනගෙ අප්පා නැගිට්ටා...මං එතකොටයි දැක්කෙ උන්දෑ මෙච්චර වෙලාම ඉදලා තියෙන්නෙ තනියෙන් නෙවෙ....කටට රෙදිකඩක් බැදපු මැටි කලේකුත් පොල්කටුවකුත් තියාගන....

මේ මහ රෑ කොහෙ යන්ඩ හදනවද කලේ උස්සාන...??ඉදන් උන්න මං අනිත් පාර නැගිට්ටා...

මාමා උඹ මේ කොහෙ යන්ඩද කියාපන්?

ගෙයි හරියෙ වතුර බිදක් නෑ....ඔක්කොම ඇවිදින් පොල්කටු ගහනවා...පෑදුන වතුරත් බොර වෙනවා...කොල්ලා ආවොත් ඌට තේ කහට හදන්ඩවත් වතුර බිදක් නෑ....

ඔහොම නැවතියන් ගෙදර ඕන තරම් වතුර තියනවා ...

ඕ න ත ර ම් ??

.......

අපිට කවදද බන් ඕන තරම් වතුර තිබුනෙ??ගෙදර යමල්ලා.....කොල්ලගෙන් ලියුන් කඩදහියක් ආවොත් මං උඹට දෙන්නම්....

මට දෙන්න උත්තර නැති උනා වගේ උනා.....කොටින්ම මට වචන නැති උනා...කොල්ලා ආවොතින් කියන්නෙ සමනට...ඌ ආවොතින් කහට උගුරක් හදන්ඩවත් වතුර බිදක් නෑ කියනකොට රෑපානෙ යන්ඩ හදන සමනගෙ අප්පච්චි නවත්තන්න ඒ අත අල්ලන් වතුර ඕන තරම් තියනවා කියනකොට උන්දත් ඒකම ආපිට මගෙ මූන දිහා බලාගන කියනවත් එක්කම මං අර අල්ල ගත්ත අත අතෑරුනා....

කිව්වත් වගේ අපිට කොහෙන්ද ඕන තරම් වතුර??ඇස් පනාපිට හෙන් මැරිලා යනවා...

නොපෙනන ගන් පතුල් ඇස් මායිමට පේනවා.....තනකොලවලටත් වඩා වේගෙන් මිනිස්සු වේලෙනවා දැක දැකවත් වැහිබිදක් හෙලන්න මහ අහසට බැරි තරමට අහස් කද නපුරු වෙලා...

*

*

*

*

බෝධියේ ....විහාරයෙ...පිදූ පියුම් වැනි වූ.....

බාලිකා ලොව මැලවුන දා

මුලු ලොවටම රැ වෙනවා.....

සරස්...

බිමට ගහපු හුලු අත්ත නිවිලා ගියා....සමනගෙ ගෙදර ඉදන් ආපිට මල්ශාලාවට ගිහින් හර්ස් එක දාපු මාත් අප්පච්චිත් ගෙදරට ආවෙ පයින්...හුලු අතු එලියෙන්.....හදිසියෙ වත් පදුරු පීරගන සද්දන්තයෙක් වත් මතු උනොත් මලානික ටෝර්ච් එලිය එක්ක උන් මෙල්ල කරන්න බැරි බව දන්න අප්පච්චි වගේම මං කෙරුවෙ හුලු අත්තක් අවුලගත්ත එක ....

අවුරුදු ගානකට කලියෙන් ගත්ත ස්ටෑඩඩ් බයිසිකලෙ දැන් පැච් පිට පැච් වැටෙනවා...ගෙදර විනාඩි පහටත් අප්පච්චි ගෙ හරි මගෙ හරි රස්සාව වැලමදුල උන ඔය ටියුබ් එක ගලවගන බොර පාට වතුර බේසමෙ ඔබාගන හිල් වැටුන තැන් හොය හොය වතුර බුබුලු එලින්දාන් මතුවෙන හිල් ආය ආය වහන එක.....

ටියුබ් එකෙන් එකයි වහපු පැලැස්තර .....ටියුබ් එකටත් මහන්සි ඇති....ටයර් එකටත් මහන්සි ඇති අප්පච්චි ගෙත් මගෙත් සැත්කම් වලට මූන දීලම...හුලු අත්ට මගෙ අතේ ඇවිලෙනකොට අප්පච්චි කෙරුවෙ සයිකලේ තල්ලු කරන් ආව එක...

දෙන්නට දෙන්නා තැනකදි කියවගන්න....තැනකදි කටවල් පාලුවට අරින මාත් අප්පච්චිත් අවසානෙදි වැටකඩුල්ල පන්නනවා එක්කම ඇහුනෙ ඇගපත වයසට ගියත් මොලේ වයසට නොයන උපන් දා ඉදන් තට්ටමෙන් බඩගාන නංගිව් ළඟ තියාගත්ත අම්මා ලාම්පු එලිය යට ඉදන් පාර දිහා බලාගන ඒකිට ඇහෙන්න සින්දු කියන සද්දෙ.....

ඉනිවැට පැන්නා විතරයි අම්මගෙ සින්දුව නැවතුනා.....මුර්ධජ නයන්නක් වගේ නිදාන උන්න අපිට වගේම මාසෙට පෝයට බඩ කට පිර්‍ර්න්ඩ කන්ඩ හම්බෙන කළුවා නැට්ට වන වන අපිලගට දුවගන අවා...

.උඹල මොකද තවම නිදි නෑ.....මක්කද මේකිගෙ කෙදිරිය මේ.....දෝනි....මක්කද උඹ නිදිනෑ....අප්පුච්චා එනකන් උන්නා?

ලාම්පු එලිය යට ඉදන් නංගිව තුරුල් කරන් උන්න අම්මා ගාවින්ම ඉදගත්ත අප්පච්චි තවමත් කෙදිරි ගගා උන්න නංගිගෙ ඔලුව අතගාන ගමන් උඹ නිදිනැත්තෙ ඇයි අහනකොට මන් පිල් කන්නෙ තිබුන කලේ නවලා පොල්කට්ට පිරෙන්න වතුර එකක් දාගන එකම හුස්මට ගහලා ඇරියා.....

මුලු ගෙදරම අන්දකාරයි.....අඩමානෙට හරි එලිය උනේ අවුලලා තිබුන එකම ලාම්පුව් හන්දා.....කුසිකෑල්ලෙ මැටි බිත්තියෙ කැඩුන හරිය තවම එහෙම්මයි...පෙරේදා රෑ දොගොඩ හරියෙ දෙයියන්ට අපෙහුස්මෙ රස්නෙ බලන්ඩ හිතිලද කොහෙද ...මදකිපුන ඒකදන්තයගෙ සිතියම වෙනස් කරලා ඒකගෙ පාර අපෙ දිහාට හරවලා තිබුනා....කැකිරිගෙඩියක සුවද දැනිලද නැත්තන් යනතමට පැහීගන ආව කෙහෙකනෙන් ආව සුවද හුලගෙ ගිහින්ද කොහෙද ඒකා ගහපු පාරට බිත්ති කන්ද කැඩිලා ගිය....

එදා රෑ එලිවෙනකන් නින්දක් තිබුන් නෑ...හුලු අතු අවුලන් ඒකව එලවගන්ඩ බෙරිහන් දුන්න අප්පච්චි ගෙ මගෙ අහල පහල උන්ගෙ කටවල්වල කෙල නෑ.....අලිවෙඩි කීයක් දැම්මද.....ඒකා දැන් අලිවෙඩිල්ලටත් ඔට්ටුයි....

මේකිලා දවල් තිස්සෙ ඉදම්ම කෙදිරිය....දැන් මන් දෙවන්ගියක්ම කොත්තමල්ලි ටිකක් තිබිලා තම්බා දුන්න... මක්කද මන්දා...උනකුත් නෑ....ඒත් කෙදිරිය....

කෑවද...

කන්ඩ කට ඇරියෙත් නෑ...

වතුර කට්ට බීපු මං එහෙම්ම ආම්මා ගාවින් ඉදගත්තා....අම්මගෙ චීත්තෙන්ම නංගිව වහන් උන්නත් ඒකිගෙ කකුල් දෙක එලියට ඇවිදින් තිබුනා.....මගෙ වගෙ නෙවෙ ඒකිගෙ කකුල් හරි කෙට්ටුයි.....ඉරටු වගේ.....ජීවිතෙ කිසිම දවසක ඒකි හිටගන තිබුන් නෑ....කොච්චර පිහදැම්මත් ඒකිගෙඅතපය දූවිල්ලෙන් වැහොලා තිබුනා....ඒකට එකම හේතුව ඒකි බඩගෑවෙම තට්ටම්වලින් හින්දා.....

කිව්වට විස්වාස කරන්න මැටිපොලවෙ වලගැහුන තැන් ඔක්කොම දැන් මැදිලා ගිහින් මගෙ නංගි බඩගාලම.....

ඇයි උඹට.....නින්ද යන්නෙ නෑ..බයද....බය වෙන්ඩ කාරි නෑ.....ඌ ආය එන්නෙ නෑ.....අප්පච්චි අයියයි ආවනෙ.....ගිහින් නිදාගනින්.....

මං ඒකිගෙ ඔලුව අතගෑවා...

මොන කරුමයක් පඩිසන් දුන්නද මන්දා.....අම්මගෙ අත්වලින් සිය ගානක් දරිපැටව් එලිබැස්සත් අම්මට බැරි උනා සර්ව සම්පූරන පැටියෙක් වදාගන්ඩ....මූනකට මලක් වගෙ මවපු මහබඹාට අමතක වෙලා අතපයෙ ඇදබලන්ඩ.....

බත් බෙදන්ඩයි?

නංගිව නලවන්න සින්දු කියාපු අම්මා අනිත් පාර ඒකිව පරඩැල වගේ ඇදලා අරන් කනුවට හේත්තු කරලා චීත්තපටින් වහලා දාලා බත් බෙදන් එන්න ඇතුලට යනකොට දොලහෙ කනිසම පන්නලත් කනකොකා අඩනවා ඇහුනා...

ඉදල්ලා...

උඹට බත් කටක් කවන්ඩද.....?

මුලු බත්පතටම තිබුනෙ එක හොද්දයි.....වම්බටු විතරයි ...සැරක් ගන්නද බත්පතෙ හිස්තැන් යවන්නද මන්දා අම්මා අප්පච්චිගෙත් මගෙත් බත්පතට මිරිස් කරල් දෙකක් එක්ක සුද්ද කරපු රතු ළූනු ගෙඩියක් තියලා තිබුනා....නංගිගෙ වැඩේම අතින් කට පිහ පිහ කෙදිරි ගාපු එක වෙනකොට බත් කටක් දෙන්න අහපු මං අනිත් පාර ඒකිට බත් ගුලියක් කටට ලන්කෙරුවා .....

නිකිනි යසෝධා

ඒකි කට ඇරියා....ඒකිගෙ නම නිකිනි...මෙච්චර වෙලාම කෙදිරිගගා උන්නත් ඒකි බඩගින්නටද එහෙම නැත්තන් මට තියන අදරේටද මන්දා කට ඇරියා... 

ඔය කොහෙද යන්නෙ ....වරෙන් තව කටක් කවන්ඩ...

බත් කට කටේ ඔබාගත්තු නිකිනි අම්මගෙ රෙද්දත් බිම අතුල්ලගන තට්ටන්වලින් ගේඇතුලට බඩ ගෑවා.....මොනවටද කියන්න ඒකිමයි දන්නෙ...

උඹට කීයටද හෙට යන්ඩ තියෙන්නෙ...

බත් කටක් කටෙ ඔබාගත්තු අප්පච්චි අතෙ නියපොතු වැවිලද කිය කිය ලාම්පු එලියට අත හරව හරව බලන අම්මා දිහා බලාගන කීයටද යන්න ඕන අහනකොට අම්මා අහස දිහා බැලුවා.....

අනිද්දා දිහෙ අනිවාර්යයෙන්ම ඒකිට රුදාව අල්ලයි...අනිද්දා පෝය...පෝයට වදාවිද .....ඉස්සරවේවිද දන්නෙ නෑ....බිම් කලුවර මැකෙන්ඩ කලින් ගෙයින් එලි බැස්සා නම් ඇති...උඹල හැතැප්ම බාගයක් ආවම ඇති...ඉතුරු කොටහා මං යන්නම්....එලි උනහම එකෙක් දෙන්නෙක් නැග්ගහම ලන්ගමේට ගනීවි.....උඹලා මා එක්ක කොච්චර කියලා ගාටන්ඩද.....

ලුනු ඩින්ගක් දියන්කො....

මා පුතා උඹලටත් ලුනු මදිද....දෙවන්ගියක්ම දැම්මනෙ....

හ්ම්....ඩින්ගිත්තක් දියල්ලා මගෙ අම්මා...

බුලත් කහට අරක් ගත්ත හන්දද මන්දා හුගක් තැන්වල මටත් අප්පච්චි ට ටත් ලුනු රහ අඩුවෙන් දැනුනා....එක්කො මිරිස් කායමක් ඕන නැත්තන් ලුනු ලේවායක් ඕනා...වම්බටුයි බතුයි....මොකාට කන්ඩ පුලුවන් ....ඔය වගේ කතා කවදාවත් මගෙ අප්පච්චි ඇහුවෙ නෑ....අම්මෙ කරවල කෑල්ලක්වත් නැද්ද බන් මං වත් ඇහුවෙ නෑ.....

එහෙම ඇහුවා කියලා ආපිට කවදාවත් කරවල කෑල්ලක් ඉල්ලපු පමන හම්බෙන්ඩ මෙ ගෙයි අස්සෙ ප්‍රාතිහාර්‍ය උනෙත් නෑ....තිබුනොත් කනවා...නැත්‍තන් කහටෙන් බඩපුරවන් නිකන් ඉන්නවා...

ඕන්...හෙට දිහෙ සම්පකාරෙ බඩු දෙනවයි කියනවා....අනිද්ද දොහෙ මැකරල් කෑල්ලක් කන්ඩ පුලුවන් වෙයි.....පරිප්පුත් හම්බෙනවා....හාල නම් කෝරමලු.....සම්බා නැතත් කාරි නෑ ගොන් ඇටෙන් වත් හම්බ වෙනවනෙ.....සලාකෙට ඉතින් හැමදාම හම්බෙන ටික....රොබින් කැටදෙකට තව එකක් හම්බෙනවලු...කොහොම කැටේ වෙනුවට ඕන් වෙනිවැල්ල ගැටෙද මක්කද ඇවිත්ලු...

ලුනු දියර අහුරක් අතට ගත්ත මං බෙලෙක් පිගාන වටේට ඉහාගන ගියා....සම්පකාරෙ බඩු දෙනවලු...අම්මා සලාකෙට දෙනවයි කියන ටික මටත් අප්පච්චි ටත් ඇහෙන්න කියනවා.....කොහොම කිව්වත් සමු‍පකාරෙ පෝලිම් අන්තීමෙ අයිති බෙනේලට....ලූණු හොද හෝ නරක වේවා....මක්ක උනත් තියන දේ ගන්නවා ඇරුනම කටගහන් යන්ඩ අයිතියකුත් නැතුවා.....ඕකත් කැපිලා ගියොත් මොන දෙයියන්ට කියන්ඩද...

ඇරත් දෙයියන්ටත් මේ පලාතට බැල්ම දාන්ඩ තරම් වෙලාවක් නැතුවා....නම්බුකාර තැන්වල දුක්ගැනවිලි අහන්ඩ ගියහම අපිවගේ උන්ගෙ දුක් කරදර දෙයියන්ටත් මගඇරෙනවා.... 

.ඒ කියන්නෙ අනිද්දා දිහාවට ගෙදර හරියෙ මැකරල් ඉදෙනවා....හෙට කරන්ඩ මහ වැඩකුත් නැති එකේ හුඹහක් කපලා වත් මැට්ට හදාගන කැඩුන බිත්තිය බදින්ඩ වෙනවා....

...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මක්කද...

මගෙ කල්පනාව බිදිලා ගියා.....සම්පකාර සලාකෙන් පටන් අරන් මැටි හුඹහා ගාවට වෙනකන් ඇදීගන ගියපු මගෙ කල්පනාව සම්පූරනම බිදිලා ගියා උරහිස උඩ නැවතුන අත්පාරත් ම්ම්ම්ම් ගාන කෙදිරුමත් එක්ක මං පස්ස හැරිලා බැලුවා....

නිකිනි.....

ඇයි අහපු මට ඒකිගෙන් ආපිය උත්තරයක් වෙනුවට ලැබුනෙ දූවිල්ල වැදුන අත මගෙ ඉස්සරහින් නැවතුන එක වෙද්දි මන් ඇතුල් අතට නැවුන ඇගිලි දිහා බලන් ඇස් වලින් මොනවද අහනවත් එක්කම ඒකි ඇගිලි දිගෑරියා.....

සක්කර කෑල්ලක්....

කොහෙද ?

ආන් බලාපල්ලකො ඒක හන්ගන් ඉදලා...කහට ඩින්ග බොනකොට අතට දුන්න සක්කර කෑල්ල....උඹලා අයියට හන්ගන් උන්නා?

මට දුක හිතුනා.....ඒකිට කහට උගුර බොන්ඩ හම්බුන සක්කර කොටෙ මං වෙනුවෙන් මැටි සිදුරෙ හන්ගන් ඉදලා මං ආවට පස්සෙ ඒක මගෙ අතට දෙනකොට මගෙ පපුවම හීරුම් කෑවා.....

මැටි සිදුර.....

ඒක ඒකිටම අයිති උන තැනක්....නිදියන තැනම බිත්තියෙ ඉබේම හැදුන සිදුර තමයි ඒකිගෙ වස්තුව හන්ගන තැන උනෙ....වටිනවයි කියලා හිතෙන හැම දේම ඒකි ඔය මැටි සිදුරෙ හැන්ගුවා.....ජම්මෙට වත් කාටවත් අත දාන්ඩ නොදෙන ඒකි ඒක රෙදි කෑලි ඔබලා වහලා දානවා...

සක්කර කෑල්ල පවා ඕකි මැටි සිදුරෙ හන්ගලා.....

අපි වගෙ එවුන්ටපන දාන් රකින්ඩ කෝ ඉතින් කනකර....

අරුන්ගල් නැතිව පාලුවට ගියපු කන්පෙති වල හිල් වැහෙයි කියලම ඒ පාලුව යවාපු කරපින්චා නැටි ගහපු කන් පෙති දකින වාරයක් ගානෙම මට දුක හිතුනා...පොලේ නම් ඕන තරම් යකඩ කූරට අමුනාපු ප්ලාස්ටික් කරාඹු කුට්ටන් තියනවා ඒත් ඒවට මේකිහෙ කන් පැහැවනවා....

මං උඹට අරුන්ගල් දෙකක් හදා දෙන්නම්...

ම්ම්ම්...

මෙව්වා පොරොන්දුද ...හිස් වචනද.....අරුන්ගල් කියන්නෙ මොනවටද කියන්න ඒකිට හරිහමන් තේරුමක් තියනවද....මේ හැම දේම ප්‍රශ්න විතරයි ...උත්තර තියෙන්නෙ තව ගව් හතක් දුර.....අරුන්ගල්.....

දෙයියනෙ මට මංචාඩියත් හීනයක්....අපරාදෙ මං ඒකිට අරුන්ගල් ගැන කිව්වෙ...මල්වැටුන චීත්ත යාරයක් කිව්ව නම්.....???

මා පුතා

අප්පොච්චා

අදට ගෙයින් බුදියපන් අප්පොච්චා පාන්දරම අම්මා එක්ක යනවා...ආපිට උඹව කූද්දන්ඩ බෑ....

පැදුරු කඩමාල්ල එලන මොහොතෙම අප්පච්චි මටඇතුලට යන්ඩ කිව්වා....

ඔයි ඇබිති ගේ ඇතුලෙ හතරකට ඉඩ කොහෙන් කියලද....හැමරෑකම ටෝර්ච් කෑලි දෙකෙ ඇබිති රේඩියෝව තුරුල් කරගන එයාගෙ කටහඩත් එක්ක හද එලියට යට හතර වටින් එන හුලන් රැල්ලෙ සනීපෙත් එක්ක නින්දට යන්නෙම මාත් අප්පච්චි ත් මේ පිල්කඩෙ උඩ....ඒත් හෙට පාන්දරම යන්න යන හන්දම මාව තට්ට තනියෙන් තියන්ඩ බැරි කමට අප්පච්චි මට ඇතුලට යන්ඩයි කිව්වා...

කාරි නැ මං ඇහැරිලා යන්නම්....තව හෝරා කීයද?

උඹලගෙත් මුරන්ඩුවනෙ...මෙ මිනිහගෙ අත් දැන් උඹව උස්සන්ඩ හයිය නෑ බන් ඇතුලට පලයල්ලා මා පුතා....

අප්පුච්චෙ

හ්ම්....

හුඹහක් වත් කපන්ඩ වෙනවා...කුසි කෑල්ලෙ බිත්තිය එහෙම් පිටින්ම ඒකා බිමදාලා.....ඒකත් එන්නෙ අපිටම කෙලින්ඩ....උඹල එන්ඩත් දවල් වේවි....

මං එනකන් ඉදින් උඹට මැටි කපන්ඩයි නංගි කරගහන් යන්ඩයි දෙකක් බෑ මා පුතා ...

ම්න්.....

නිදාපන් උඹටත් මහන්සි....

අප්පුච්චා

හ්ම්...

පුදුමයි මුදලාලියා වලහාරලා ආපිට පෙට්ටිය ගන්ඩ නොකියපු එක..... අද හෙට නොකිව්වත් සතිය යන්ඩ කලියෙන් පෙට්ටිය හාරන් එන්ඩ කියන්වා...කෙහෙල් කොටවලට මොන පෙට්ටිද අහලා....

ඔතනින් එහාට මාත් අප්පච්චි අතරත් කිසි කතවක් හුවමාරු උනෙ නෑ.....දැල්ල බාගෙට මැරුන ලාම්පු කුප්පියෙ කහ එලිය හුලන් අතට ගැහි ගැහී එලිය දෙනකොට මං ඒලියට යටම උත්තරයක් හොයන් අප්පච්චි දිහා බැලුවා.....

අනෙ උන්දට නින්ද ගිහින්...වචනයක් කියාගන්ඩත් මහන්සියෙන් උන්න ජීවිතෙ නම් චිත්‍රපටිය ඇතුලෙ මං දන්න එකම අද්විතීය නලුවට මහන්සිය වැඩිම තැනද කොහෙද කටත් ඇරන් නින්ද ගිහින් තියනකොට පොඩි කාලෙ පුරුද්දටද මන්දා අප්පච්චි තවමත් දකුනුනත දිගාරිනවා....

මාව උස්සන්ඩ අතපය හයිය නෑ කියාපු අප්පච්චිට අමතක වෙලාද...නැත්‍තන් සන්සාර පුරුද්දටද?

අරවින්ද අංශුවක් වත් නැති පාලු පිට්ටනියක් උන අහසෙ තට්ට තනියෙන් උන්න හදේ තනියට උන්න වලාසේලයක් තවත් හාදුවක් තියාගන යන මොහොතක පොඩින්කාලෙ වගේ නෙවෙ මට දැන් මගෙ බර උඹගෙ අතට දෙන්න බෑ කියලා හිතපු මං අප්පච්චි ගෙ ගොරෝසු අල්ලට හාදුවක් තියලා එහෙම්ම ඇස් පියාගත්තා ...

දවසක මතුබුදුවෙයන් අප්පච්චි ...අමතක නොකර අම්මටත් බුදුවෙන්න පාර පෙන්නපන්!

*

*

*

ම්හ්හ්....ම්ම්හ්හ්.......ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්...

ඇ....ඇයි.....ඇයි.....මැනිකෙ...අ..අලි ඇවිත්....ද...

මගෙ කම්මුලට වැදුන අත්පාරත් එක්ක ගැස්සිලා නැගිටපු මට උතුර දකුන මාරු උනා....කොච්චර වාත් හිත් කොනක හැන්ගිලා තියන අලි ගහන බය හැම නින්දකින්ම ඇහැරෙනකොට මාව කෙහෙල් දල්ලක් හා සමානව මලවලා දානකොට මං කෙදිරි ගගා මගෙ ගාවට බඩගානන ඇවිදින් තිබුන නංගිව ඇදලා අරන් තුරුල් කරන් වටපිට බැලුවා...

ගෙදර හිස් වෙලා...

අම්මයි අප්පච්චි යන්න ගිහිල්ලා...ඒත් පායපු හදවත් තවම බැහැලා ගිහින් නෑ....බිම් කරුවල එහෙම්මයි.....යන්තමට කුරුල්ලෙක් දෙන්නෙක්ගෙ කිචි බිචියත් හද බහින්න ඔන්න මෙන්න.....ඉරපායන්න ඔන්න මෙන්න තියනකොට අහසට ඇතිවෙන තැබිලිපාට විපරියාසෙ ඇතිවෙලා තිබුනත් බිම් කරුවලට බැරි උනා හතර වට සම්පූරනම දාලා යන්න....

ලාම්පුව තවමත් ඇවිලෙනවා...දැන් දැන් ලාම්පු තෙල් සුවද ලාම්පුව නිවෙන්න කාලෙ හරිවග මට කොදුරන් යාන යාමෙක නිදිපැදුරෙන් මගෙ දිහාට බඩගාන් ආව නිකිනි දිහාව නිදිබරඇස් හැරෙව්වා...කෙල්ල ඊයෙ පෙරේදා ඉදම්ම කෙදිරිගානව මක්කද මන්දා....

නරකද ඉස්පිරිතාලෙ අරන්ගියානම් කොත්‍තමල්ලි පොව පොව කීදොහක් ඉන්ඩද?

මට අම්මගෙත් අප්පච්චිගෙත් කතාබහ ආයම මතක් උනා...කක්කුමක් බැක්කුමක් ආවත් කියාගන්න නොතේරෙන නිකිනිට කරන්න පුලුවන් එකම දේ කෙදිරි ගගා හරිතාල් කරන එක විතරක් ම වෙනකොට නිවීගන යන්න ඕන මෙන්න තිබුන ලාම්පු එලියෙන් මං ඒකිගෙ කකුල් වගේම පාට මැරීගන ගියපු රැ හීතලට පොරවාපු අම්මගෙ චීත්තපට දැක්කා....මට උන් හිටි තැන් නැති උනා...

අම්මත් අප්පච්චි ත් නැති ගෙදර තට්ට තනි මං ගෙට උන කෙල්ලෙක් එක්ක මක්ක කරන්ද.....

මං ඒකිව පැත්තකට කෙරුවා....

සම්මත කතා නම් බෝමයි....ගුන අගුන වෙන තැන් නම් බෝමයි...

ඒත් මං ඒකිගෙ අයියානෙ දෙයියනෙ ....??

මෙලෝ හසරක් නොදන්න උඹව මක්කට කොටහලු කෙරුවද මට ප්‍රශ්න අහන්නවත් උන් එක්ක හර්තාල් කරන්නවත් දේවමන්ඩේ උන්ගෙන් එකෙක් තාම ඇහැරිලා නැද්ද ...???

තට්ටමෙන් ගාටන උඹට තවත් වේදනාවක්....

ගම්තුලානෙ ඉන්න වල් ඌරන්ගෙන් ළපටි ඵල රකින්ඩ තියන අමාරුවක හැටි කියාවි පැදුරට නොකියා ගිය දෝනියැන්දන්ගෙ අම්මලාගෙ කදුලු .....

මැනිකෙ ඩිංගිත්තකට පැත්තකට වෙයන් මයෙ අම්මා...

අම්මත් අප්පත් නැති තැන මාවම ඒකිට මුලිච්චිවෙලා අහවර තැන ආය තව මොන සමාජ සම්මත රකින්ඩද...

ඇරත් කිරි අත්තක් කපලා ගෙට ගත්තයි කියලා මේකිට හෙටින් පස්සෙ ලොතරැයිඇදෙනවද...

ඒකිගෙ කොටහලුව තනිකරම මහමේරුවෙ බර වගේ දැනෙනවා මිසක කිරිබතක් උයලා කැටකපන්න සතුටක් නෙවෙ බව උපත දුන්න උන්පවා දන්නව නෙවෙද...

ඩිංගිත්තක් මෙහෙන් ඉදිල්ලකො...මං වතුර කලේ බලලා එන්නම්...

ඇදන් උන්න සරම ගසාබසා දාගන අඩියට දෙකට එලි බහින්න හැදුවත් මෙලෝ හසරක් නොතේර්‍ර්න ඒකි කෙරුවෙ කැක්කුම් ගන්න යටි බඩේ වේදනාව ගැන කිය කිය තට්ටමෙන් බඩ ගගා මගෙ පස්ස පාරෙ ආව එක වෙද්දි මොන කරුමෙට හරි කලගෙඩි හතමහිස්වෙලා තිබුනා....

ලගක් වෙනකන් පස්ස හේදුව මං උඹගෙ අප්පා වගේ....

ලොකුම ප්‍රශ්නෙ දැන් ඒක නෙවෙ වතුර නැති එක...

මුහුර්ත බලලා නෑව්වෙ නැති උනාට දුප්පත් අපිට කරුමෙ වාසනාවට වඩා නෑකම් කියද්දි තනිකන්දෝසයක්වත් ඇල්ලුවොත් දුම්මල ගහලවත් ඔය වහන එවුන් යවන්ඩ පුලුවන්ද .....???

වැදුම් කතුර ලගට කරලා ගියත් මට මේකි තනියෙන් දාලා වැවට දුවන්ඩ හිත හදාගන්ඩ පුලුවන්ද ....අරකට දැන් වෙලා කලා නෑ....දල බිදුන දා ඉදන් රැලෙ ඒකට වඩා හයිය ඇති එකෙක් ඒකගෙ තැනඅරන් රැලෙන් පිටමන් උන තරහත් ඌ දැන් අපෙන් පිරිමහනවා.....

උගෙ හිතුමනාපෙට ඒකා කරක් ගහනවා....මංකඩ නැතුවම ඒකා දැන් මාරුවෙනවා.....නාලගිරි හොදයි තව ඒකා මත්වෙලා වත් උන්නෙ කියන්ඩ තිබුනා....

කන්පට ගහන කලුවත් තට්ටමෙන් බඩගාන නිකිනිත් දිහා බලපු මං කරන්න පුලුවන් එකම දේ ඒකිව කරේ තියාගන වැවට යන එක විතරක් වෙද්දි අතට අහු උන රෙදි කඩ ගත්ත මං ඒකිව ඔලුවෙ ඉදන් මලකදක් වගේ ඔතාගන එහෙම්ම් කරේ තියාගත්තා....

දගලන්නෙ නැතුව ඉදහල්ලා....

උඩුයක නිර්වස්ත්‍ර මං පයට සෙරෙප්පුවක් වත් නැතිව ඇදන් උන්න සරමත් එකපැත්තකින් උස්සන් වැටපනිනවත් එක්කම මේ අඩ කරුවලේම වැව අහට දිව්වා...මගක් දුවනවා...මගක් ඇවිදන් යනවා...

මට මුනිච්චි උනාට කාරි නෑ.....කොටහලු උන එකියක් මගෙ පැල්කොටෙ ඉන්නවා කියලා මොකාවත් දැනගන්න නරකයි

මගෙ යටි හිත කිව්වෙම එහෙම...කකුල් හතරට වඩා දෙකේ එකාගෙ තිරිසන් කම නාඹර ගෑනු මලකද වටේ කැරකෙන කසිප්පු ගහ කාන්දුවෙන ඇස් අයිති උන්ගෙන් දැකලා දැකලම මේ මහපොලවෙ හුස්ම ගන්න එක සෙල්ලමක් නෙවෙ කියන එක මං තේරුම් ගත්තෙත් අදක ඊයෙක නෙවෙ වෙද්දි මට ඕන උනේම කාටත් මුනිච්චි නොවී වැවට දුවාගන්න....

"බෙනේ...පවුල"

හැබැයි මිනි කපන එවුන් හන්දා උන් පාන්දරට අපිව මුනිච්චි වෙන්ඩත් බයයි..ගමනක් යනකොට හූනෙක් අඩනවට කලු පූසෙක් මාරුවෙනවට වඩා බයයි අපෙන් එකෙක් මුනිච්චි වෙනවට උන් අපිව මුනිච්චි වෙනවට.....උන්ගෙ හිතෙ අපි පනපිටින් ඉන්න උන්වත් ඇදන් ගිහින් එම්බාම් කරනවා කියලා.....

උදේ පාන්දරක මගකදි දැක්කොත් උන් ආපිට හැරෙනවා....එක්කො කෙල පාරක් ගහනවා....

කෙල ගහන උන්ගෙ කටෙත් අන්‍තීම කෙලපිඩ අහක් කරලා ෆෝමලීන් පොගවපු පුලුන්කඩක් ඔබලා මන් අවසානෙදි කට මහලා දානවා.....

තව ඩින්ගිත්තක් ඔහොම ඉදින් නිකිනි....කවුරුත් දකින්ඩ කලියෙන් මං උඹව නාවගන යන්නම්...කලුවා තැන් තැන්වල අඩු උස්සන්නෙ නැතුව විගහට දුවපන්....

ගෙයින් එලිබැස්ස වෙලාවෙ ඉදම්ම එකම පිම්ම...ඩින්ගිත්ත ඩින්ගිත්‍ත හතර වට එලිපහලිය වේගන එනකොට ආර්මි එකට අයිති වතුර බවුසරයක් කන ගාවින් යන්න ගියේ දූවිලි වලාවක් එක්කම වෙද්දි තැන් තැන්වල නවතින්ඩ හදන කලුවට මං සැර දැම්මා....

දකුනු උරහෙන් වමට....වමෙන් දකුනට...මං දුව දුවම කෙල්ලව මාරු කෙරුවා.....ඉස්සරහාට එන්නෙ ගල්පොත්ත හන්දිය.....ඉලුක් යාන්ගෙ පටන් ගැම්මත් වැව්මායිමෙ පටන් ගැන්මත් එකම තැන වෙනකොට මේ ගමේ උන්ට අපායට ගියත් යන්ඩ වෙන්නෙ මේ ගල්පොත්ත හන්දිය පහු කරාන වෙනකොට මෙච්චර වෙලාම දුව දුව ආවත් එක තත්පර්‍රෙකට හරි නැවතුන මම අනිත් පාර හුස්ම ගන්ඩවත් නැවතුන් නෑ....

ගම්මානෙට ඉරපායන් එනවා.....

අන්දකාර ආකාස ගිනියම් ඉරේ යටත්විජිතයක් වෙන්ඩ හෝරාවක් දෙකතුනක් තියලා ආකාසට මලානික පාටක් අරක් ගන්නවා....

මේ යන්නෙ ඒ යාමෙ.....රෑ ගෙවෙනකන් හඩතලාපු බස්සෙක් දෙන්නෙක් තවටත් අඩාගන යනකොට නාඹර හුලන් රැල්ලත් එක්ක මුලු ඉලුක් යාන්ගෙම හෙලවිගන ගියා...

සර සර ගානවා....

හුලන් කැටියත් එක්ක ඉලුක් යාන්ගෙ පෙම් කෙලින්න ගන්නෙම මගෙ බඩ පපුවත් පත්තු කරගන වෙද්දි තනිපන්ගලමෙ ආ ගමනක් නම් රෙදි ගලවලා හරි දුවන්ඩ තිබුනා උනත් කොටහලුවක් කර තියාන ආව මන් කොහොම කියලා නම් දුවාගන්ඩද හිත බය බීරාන්ත වෙලා තව තවත් මගෙ කකුල් අඩිය ඉක්මන් කෙරුවා.....ඉහට උඩින් කෑරලෙක් හූස් ගාන් ගියා....

දෙයියියන්ට ඔප්පුවෙන්ඩ තව අඩි දෙකතුනයි....නානමන්කඩ පේනවා....

ගල්පොත්ත මන්කඩ පහු කරනවත් එක්කම මට දැනුනෙ මරනෙ දැක දැක ජීවිත දානය ලබාපු එකක් ගානට වෙද්දි වම් උරහෙට දැනුන බර දකුනු උරහෙට මාරු කරන් එලි පැනපු කකුල් ආපිට චීත්ත රෙද්දින් වහන් කරගන මං නාන මන්කඩට යන්න කකුල් ඉක්මන් කෙරුවා....

හැබැයි මට වැරදුනා....

හුලන් පාර මගෙ කන් රවට්ටලා තිබුනා...

වේලුම් කාපු ඉලුක් කැලෑව හුලන් රැල්ලත් එක්ක නෙවෙ පෙම් කෙලලා තිබුනෙ....සද්දන්තයෙක්ගෙ ඇගේ වෙලිලයි පෙම්කෙලල තිබුනෙ....

හීන් හුලග තමන්ගෙ පාඩුවෙ යන්න යනකොට ගහක් දෙකක් නැලවුනත් ගන සැරේට සර සරගාලා තිබුනෙ සද්දන්තයෙක්ට පෙම් කරාපු ඉලුක් ගස්වල සද්දෙ.....

අන්ඩ උස්සන්න හදාපු කලුව බුරාගන පස්සට පැන්නා.....චීත්තපට හදල ඔලුව උස්සපු මට දුවාගන්න හදාපු වේගෙ පාලනෙ නැති උනා....

මදකිපුනු ඒකදන්තයා දූවිලි අහුරක් අරගන ඇගට ගහගත්ත ගහ ගැනිල්ලට හතරවටම දුඹුරුපාට වේගන යනකොට හොඩෙන් ආව පිඹින සද්දෙ මගෙ කන්වල අඩි පවා පුපුරලා දාන් ගියා...තවමත් දූවිලි රැදුන හොඩෙ මගෙ හුස්මක ඉස්සරහින් තිබුනා....ඇස් උස්සලා බලපු මං ඒ කහ ඇස් දැක්කා....උගුරෙන් පල්ලම් බැහැපු කෙලපිඩ පවා උගුර මැද හිර උනා

ෆෝමලීන් නැතිවම මගෙ බලනහරෙ කරවෙලා ගියා!මටත් නොදැනිම ගෞතම බුදුන්ට කලියෙන් දොරේ බුදුන්ගෙ නම මිමිනුනා...

"අප්...පොච්...චෙ..."

"ෆූ...ශ්..."

THANK YOU

More Chapters