Ficool

Chapter 10 - සුවඳද?

රෑ නම් නින්ද ගියේම නෑ. අන්තිමට කලු සුදු මහත්තයාව එක්කන් ඇවිත් මගේ බඩ උඩින් නිදි කරෝගත්තා. 

'මට ආදරෙයිද ආශු?' අයුශ් ගේ උරහිසකට බරවෙලා ගෝල් ෆේස් එකේ බංකුවක් උඩ ඉඳන් අයුශ් අතේ තියන් හිටපු imorich blueberry cheese කේක් එක කාකා ඉන්නකොට මන් ඇහුවම,

'මන් ආදරෙයි සවී!' කියලා මගේ තොල් කොනේ තිබ්බ අයිස් ක්‍රීම් පිහිදුවා

'ඔයාගේ අප්පච්චි අපි ගැන දැනගත්තොත් මාව මරාවී ආශූ!'

'එහෙම වෙන්නේ නෑ ආශූ! අපි O/Ls ඉවර වෙලා රට යමු. එතකන් අපි පරිස්සම් වෙලා ඉමු.'

'මට බයයි ආශූ අපි දෙන්නා අර මුහුදයි ආකාසේයි වගේ වෙයි කියලා. දෙන්නට දෙන්නා බලන් හිටියත් කවදාවත් එකතු වෙන්න වෙන්නේ නැති වෙයි කියලා'

'සවී එහෙම වුනොත් ඔයා අහස වෙන්න. මන් මුහුද වෙන්නම්'

'ඇයි ඒ?'

'මුහුද කියන්නේ දුක දරන් ඉන්න තැනක්. මිනිස්සු මුහුදට එයාලගේ සියලු දුක් දමලා ගහනවා සවී. ඒත් කවදාවත් එයාලා සතුට මුහුදට දිය කරන්න එන්නේ නෑ. අහස එහෙම නෙමෙයි. අහසට ඉර බැස්සම හඳ පායනවා, තරු පායනවා. අහස දිහාබලන් මිනිස්සු ආදරය ගැන කවි ලියනවා සවී. අහස කියන්නේ ලස්සන තැනක්, බැබලෙන තැනක්. ඔයා ඉන්න ඕනා එතන සවී. ඉර බැස්සොත් හඳ පායයි සවී...'

"රෙක්ස්! එහාට පලයං! අයියෝ ඊයා!!!" ගෑවනේ කෙල තලියක් මූනේ!

"ආයේ නම් මැලිබන් මුදලාලිව නිදි කරගන්නෙ නෑ මාත් එක්ක!" එහෙම කිව්වම රෙක්ස් ට දුක හිතුනා. ලොකු ඇස් දෙක දෙකෙන් දුක හිතෙන විදිහට බලන් ඉන්නකොට මතක් වෙන්නේම තුර්ශ පොඩි කොල්ලොන්ගේ පන්ති වලට ගිහින් කොසු ඉල්ලන විදිහ! ගොනා!

"මක්කැයි සුදු මහත්‍තයෝ තනියෙන් හිනා?" තාත්තට අද නිවාඩුද කොහෙද.

"තාත්තට නිවාඩුද?" තාත්තා ඇවිත් ඇඳ උඩින් වාඩි වුනා. 

"අද ඉරිද නොවැ කොල්ලෝ!" 

"ආ ඔව්මනේ. ඉස්කෝලේ නැති නිසා ඒකත් මතක නෑ!" 

"තේ ඩිංගිත්තක් බීලා ඔහේ මිදුලට එන්ටැ. තණකොල මහවට හැදිලා පයක් තියන්න බැරුවා සබ්බද්දියංවාරේ" 

"හරි තාත්තේ"

තේ එක බීලා උදැල්ලත් අරන් මිදුලට බැස්සේ තාත්තා එක්ක තණකොල ටික උගුල්ලලා දාන්න. 

"ඕන් සුදුමහත්තයො මහ කඩි ගුලක්" තාත්තා මාව එහාට කරා. 

"Computer පන්තිය කොහොමෙයි?" තාත්තා වටේ දුවන රෙක්ස් ගේ ඔලුව අත ගෑවා.

"හොඳයි තාත්තේ. විභාගයක් තියනවා අන්තිමට. ඒකෙන් සහතිකයක් ලැබෙනවා."

"හොඳා හොඳා! කොයි අර තුර්ශ කොල්ලා ඇහැට මුනිච්චි වුනේ නෑනේ" තාත්තා ඔලුවේ දාඩිය පිහිදලා දැම්මා.

"මන් කියන්නම් එන්න කියලා" 

"වෑවරයක් කපන්නෙයි සුදු මහත්තයා?" තාත්තා පොල් ගහ දිහා බලන් ඇහුවාම,

"ඒක නම් නියමයි!" තාත්තාට හොඳට ගස් නගින්න පුලුවන්. මටත් පුලුවනි. ඒත් තාත්තා මට වඩා දක්ශයි. තාත්තා වලල්ලත් දාන් පොල් ගහට නගින කොට අම්මා ආවා.

"හත්තුකේ!!! මේ උන්දැගේ වයසටද මේ වැඩ?" ඔන්න පටන් ගත්තා වලිය! එතකොටත් තාත්තා බාගයක් දුර නැගලා.

"මක්කැයි විස්සෝපෙන් මහගේ?" තාත්තා 'මහගේ' කියන්නේ අම්මව තරහ ගස්සන්නමයි. 

"විස්සෝප නෙමෙයි සාගර! බිම පත බෑවුනාම මන් එපැයි විඳවන්න!" 

"ඕන් නිමාලි අහකට යන්ට!" එතකොටම කුරුම්බා ගෙඩි දෙකක් බිමට වැටුනා. ඒත් මන් ගැස්සුනේ ඒ සද්දෙට විතරක්ම නෙමෙයි. ගේට්ටුවේ බෙල් එකේ සද්දෙට.

'හෙට මන් එනවා. ලෑස්ති වෙලා ඉන්න!' හත්තුකේ තමයි!

"ආදාරකාරයෝ වෙන්න ඇති ඉන්තේරුවටම! ඉරිදාවකට නිස්කලංකේ ඉන්න බැරි හැටියක්" අම්මා මූන ඇද කරගත්තම බිමට බැහැපු තාත්තා ගිහින් ගේට්ටුව අරිනකොට මගේ කකුල් දැන් හුළඟට අහුවෙච්ච ගණ්ඨාර ලණු වගේ. 

"කියන්න සාගර මෙහෙ උන්ට දේන්න ආදාර නෑ කියලා!" 

ආපු උන්ට ආදාර අවශය නැති බවත් හිටං ඉන්න දැන් මට ආධාරකයක් අවශ්‍ය බවත් අම්මාට පෙනී යන්නේ නැති එකමයි හොඳ.

ගේට්ටුව ඇරුනා. මට දැන් මැවිලා පෙනුනා රස්ති කාරයා වගේ තාත්තා ඉස්සරහ ඉන්න සයෝද් දිහා තාත්‍තා හිසේ සිට දෙපතුල දක්වා ඉතාම ජුගුබ්සාජනකව බලන විදිහ. ඒත්,

"ඔයැයි කවුද මහත්තයා?" 'මහත්තයා?' කවුද මහත්තයා?

'Mr. පෙරේරා, මන් මේ ආවේ සවේන් පෙරේරව හම්බෙන්න. මන් E-soft එකෙන්." E-soft එකෙන්? මන් අඩිය ඉක්මන් කරලා තාත්තා ළඟට ගියා!

"හත්තුකේ!!!!" 

"ඇයි සුදු මහත්තයා?" තාත්තා බය වෙලා දැන්. ඉස්සරහා ඉන්න ඈයෝන්ට හිනා

"අහ් නෑ නෑ තාත්තේ මේ අපේ 'සර්' නේ. එන්න එන්න සර් ඇතුලට" 'සර්ව' ඇතුලට අරන් මට එලියට යන්න වෙයිද දන්නේ නෑ බුදු දෙයිහාන්දුරුවනේ!!!

'සර්වත්' අරන් ගේ ඇතුලට ගියාම අම්මා 'සර්ගේ' හිසේ සිට දෙපතුල දක්වා බැලලා හොඳට හිනා වුනා. මොකද 'සර්ගේ' හිසේ සිට දෙපතුල දක්වා උසස්ම තත්වයෙන් නිමා වෙලා තිබ්බේ.

පයට උසස්ම තත්වයේ කලු ලෙදර් පාවහන්, එයින් උඩට ඉර තියෙන්න මැදපු උසස්ම තත්වයේ කලු කලිසම. ඊට උඩින් Ferragamo belt එක, ඊටත් උඩින් කලු බ්ලේසර් එක මැදින් පේන කලු ශ්‍ර්ට් එක. අතේ කලු රොලෙක්ස් ඔරලෝසුව. කොන්ඩේ ජෙල් කරලා ඉරි තියෙන්න පැත්තට පීරලා. 'E Soft එකේ අයිති කාරයා' කිව්වනම් තමයි ගැලපෙන්නේ. මොකද නිකන්ම 'සර්' කෙනෙක් මෙහෙම ඇඳන් එන්න එක්කෝ ඌ කුඩු බිස්නස් කරන්න ඕනා. තාත්‍තා විලම්භීත වෙලා බලන් හිටියේ ගෙදරට මොකා ආවත් ඇඟට කඩන් පනින කලු සුදු මහත්‍තයා 'සර්' ගේ කකුල් වටේ නැට්ට වන වන යන දිහා. 

"ඉඳගන්න 'සර්!'" මන් කුපාඩි හිනාවක් දාලා කිව්වම සර්ත් බ්ලේසර් එකේ බට්න් එකක් පන්නලා හිනා වෙලා ඉඳගත්තා.

"සර් ඇයි මේ අපේ සවේන් පුතා හොයාන ආවේ?" අම්මෝ ඇති යන්තන් තාත්තා කොළඹ විදියට කතා කරනවා! 

"අහ් Mr. Perera මේකයි කාරණේ සවේන්ට presentation එකක් මිස් වෙලා. ඒත් මේ phone එකක්වත් නෑ නේ දැනුම් දෙන්න. ඒකයි මන් address එක හොයන් ආවේ."

"ඇයි පුතා මගේ number එක දුන්නේ නැද්ද පන්තියට?" තාත්තා සැක මුසු මුහුනෙන් ඇහුවම,

"අහ් නෑ නෑ Mr. Perera අපේ ඩේටා බේස් එක හැක් වෙලා ගොඩක් student details නැති වෙලා නේ. ඒකයි මේ අර තුර්ශ සිරිවර්ධනගෙන් තමයි address එකත් හොයා ගත්තේ." මූට රයිගම් සම්මාන වලින් දමලා අරින්න තමයි වටින්නේ! 

"අහ් එහෙමද?" තාත්තා කියනකොට අම්මා තේ, බිස්කට්, කේක්, කෙසෙල් ට්‍රේ එක අරන් ඇවිත් 'සර්ට' පිළිගැන්නුවා.

"Thank you!" කියලා හොඳට දෙසා බාන්න ගත්තා 'සර්'. මටනම් දැන් හිනා යනවා. 

"ඉතින් දැන් මන් මොනාද කරන්න ඕනා 'සර්?' මන් කාමරේ උලු අස්සට හේත්තුව දාන් ඇහුවම

"මන් කියන විදිහට කාරානම් ඇති." 'සර්' කෙසෙල් ගෙඩිය එක විට ගිලලා දාලා කිව්වම මට කෙල ගුලියකුත් ගිලුනා. 

"ඔය ළමයා දැන් මාත් එක්ක පන්තියට යන්න එන්න. අපිට ප්‍රැක්ටිකල් එක අදම ඉවරයක් කරන්න පුලුවන් එතකොට" සර් තේ උගුරක් බීලා කිව්වම

"එහෙනම් සුදු මහත්තයා ඉක්මනට ලෑස්ති වෙලා එන්න!" තාත්තා කියන පරක්කුවට මන් කාමරේට වැදුනාම රෙක්ස් මගේ පස්සෙන් කාමරේට ආවා. කුමක්ද මේ සිදුවන විපර්‍යාසය? බඩ ඇඹරෙනවා වගේ. තේ එකට නෙස්ටමෝල්ට් වත් දාලද අම්මට වැරදිලා?

'මොනාද දැන් අදින්නේ? ක්ලාස් එකට නෙමෙයි යන්නේ කියලා දන්නවා. බාස්කට් බෝල් ප්ලේ කරන්නද? නැත්තම් වෙන කොහේ හරිද?' මන් අල්මාරිය ඇරන් කල්පනා කරලා කරලා කොයිකටත් තෛලය ඩෙනිම නේ කියලා, වොශ්ඩ් ඕෆ් රිප්ඩ් ඩෙනිම ඇදගෙන , Huff & Dee කලු round neck t-shirt එකක් දාගෙන, සොක්ස් දාගෙන 'සර්' අරන් දුන්න නයිකි දෙකත් දාගෙන කොන්ඩේ පීරගන්න කණ්නාඩියට ඉස්සරහට ගියාම රෙක්ස් ආයේ මාව දාලා එලියට ගියා. 

ඇත්තට 'සර්' එක්ක බලද්දි මන් 'පුලුං' වගේ තමයි. මට තිබ්බේ හරි චූටි ඇඟක්. සර් 6'4ක් වුනාට මන් යන්තන් 5'7යි. අඩුම ගානේ 6ක්වත් තිබ්බනම් හිත හදාගන්න තිබ්බා. නැටුමටම මගේ කෑම දියවෙනවා කියලා ඉස්සර අයුශ් කියන්නේ කිසිම කෑමක් ඇඟට අල්ලන්නේ නැති නිසා. මන් කවදත් කෙට්ටුයි. ඒත් ඇටසැකිලි කෙට්ටුවක් නෙමෙයි. ඒත් මන් හරි පොඩීයි. මගේ ඇස් නම් අපේ නැතිවුන සීයා තාත්තාගේ වගේලු. මන් ඒ උන්දැගේ කලු සුදු photo එකකට වඩා දැකලා නෑ. ඒත් ඒ උන්දැට තිබ්බේ මට වගේම බළල් ඇස්ලු. 

අම්මාට වගේ මගේ රදනක දත් දෙක උල්. හිනා වෙනකොට ඒදෙක එලියට පේනවා වැඩිපුර. පොඩි වෑම්පයර් ලුක් එකක් තියන්වා කියලා තමයි තුර්ශ කිව්වේ. අත්තම්මාගේ කියන්නේ 'මයේ හැඩරුව පුංචෑයෝගෙන් ලැබුනේ සුදුමහත්තයට විතරනේ' කියලා. ආත්තම්මගේ ඇත්තම නම 'ලීලා' වුනාට තාමත් ගමේ ඈයෝ කියන්නේ රන් එතනා ඉස්කෝලේ නෝනා කියලා. මොකද ආත්තම්මාගේ පාට නිසාම සීයා ආදරේට කියලා තියෙන්නේ රන් එතනා කියලාලු. අත්තම්මාගේ පාට විතරක් නෙමේ හිනා වෙනකොට එක කම්මුලක් වලත් ගැහෙනවා. ඒකනේ ආත්තම්මා මට වැඩිපුරම ආදරේ. ආත්තම්මාගේ ඝණ කලු කොණ්ඩෙත් ඒ විදිහටම මට පිහිටලා තියෙයි. ඒ කාලේ ආත්තම්මා කොන්ඩේ කපලා බල්ලොන්ට දාලා පාගවනවලු කොන්ඩේ වැවෙන්නේ නැති වෙන්න. ඒ තරම් කොන්ඩේලු. දැන් වුනත් හීනි වෙලා තිබුනත් කොන්ඩේ දණිස් දෙක ළඟටම දිගයි. මාත් මාසෙට දෙසැරයක් කොණ්ඩේ කපන්නම ඕනා. 

කොණ්ඩෙත් පීරන් හදාගෙන, Fogg Impressio එකත් ස්ප්‍රේ කරන් කාමරෙන් එලියට ගියාම 'සර්' ඉන්නවා බිමට නැවීගෙන. රෙක්ස් ගේ කකුල් දෙකෙන් අල්ලන්. 

"හරි පුදුමයි. මූ මේ නොදන්නා මනුස්සයෙක් එක්ක මෙහෙම හැසිරෙනවමයි සර්." තාත්තා කිව්වම මට හිනා ගියා. 

"අහ් සුදුමහත්තයා ගිහින් එන්න එහෙනම්!" තාත්තට වැඳලා අම්මටත් වැඳලා රෙක්ස් ගේ ඔලුවත් අත ගාලා 'සර්' පස්සේ ගිහින් කලු පෙජෙරෝ එකේ පැසෙන්ජර් සීට් එකට දිර ඇරලා දුන්නම උඩින් යන්න ඕන නැති නිසා මන් විගහට නැගලා ඉඳගත්තම කලින් දවසට වඩා හෙමිහිට දොර වහලා බ්ලේසර් එක ගලෝලා එක ඇඟිල්ලකින් කර උඩ දාගෙන අනික් පැත්තෙන් ඇවිත් නැගලා බ්ලේසර් එක මගේ ඔඩොක්කුවට විසික් කරා. 

"මේ මොකද?" මන් බ්ලෙසර් එක අතට ගත්තම, අප්පේ.... සුවඳ.... නිරායාසයෙන්ම තව චුට්ටක් බ්ලේසර් එක නහය ළඟට ලං වුනා... වැනිලා, කුරුඳු, දේවදාර, දෙහි, සෙක්සී, හොට්, ඈ??? පිස්සුද සවේන් උඹට? යකෝ ඇස් දෙකත් වහන් මේක ඉඹින්නේ උබට මොලේ විකාරද? ඒත් පරක්කු වැඩී මගේ ලැජ්ජ නැති කම අනික් අයගේ ඇහැට වැටිලා ඉවරයි. කුප්ප හිනාව ඉවසන්න බෑ!!!

"Dominance Gold, සුවඳයිද?" 

"අහ්?" ඒත් එයා දැන් මගේ ඉස්සරහට පහත් වුනාම හදවත් ගැලවෙන්න වගේ ගැහෙනවා. මගේ උරහිස උඩින් අත දාලා සීට් බෙල්ට් එක ගන්න ගමන්

"සුවඳද?" 

"හ්ම්" යන්තන් ඔලුව වනාගත්තාම එයා ආයේ හිනා වෙලා බෙල්‍ට් එක ලොක් කරලා වාහනේ ස්ටාට් කරනකොටත් මන් තාම සීට් එකට ඇලිලා.

"කොහෙද යන්නේ කියලා අහන්නේ නැද්ද සවේන් අයියේ?" 

"අහ්? අහ් ඔව් කොහෙද යන්නේ?" යන්තන් මෙලෝ සිහියකට ආවා මදැයි. 

"යන්නේ... සරුංගල් අරින්න!" 

"මොනා?" 

මතු සම්බන්ධයි....

More Chapters