හීන.. ඇස් ඇරගෙන වුනත් වහගෙන වුනත් මිනිස්සු ආසයි හීන දකින්න.. දකින හීන සැබෑ කරගන්න.. සැබෑ කරගන්න බැරි වුනත්, ඒ හීනවල එල්ලිලා පුංචිම මොහොතකට හරි සතුටු වෙන්න..
මාත් හීනයක් දැක්කා.. හැබයි ඇස් ඇරගෙන. ඉතින් දැන් ඒ හීනෙන් ඇහරෙන්න වෙලාව ඇවිත්..
"මගේ ළඟින් ඉන්න..හැමදාම.... මගේ හොඳම යාලුවා විදියට..."
මොහොතකට කලින් මගේ අතින් අකුරු වුන මුල්ම කවිය සාක්කුවේ හරි පරිස්සමට හැංගුනේ මගේ හිත හැමදාම සීනුගෙන් හැංගුනා වගේ.. ඒත් මට ඕනේ එකම එක පාරක් එයා ඒ හිත දකින්න..
"හා.. මං ඉන්නම්.. හොඳම යාලුවා විදියට, ඒත් සීනු.. මට අපේ බැඳීමට යාලුකම කියන නම විතරක් දෙන්න ඕනේ නෑ.."
සුපුරුදු හිස් බැල්මෙන්ම එයා තාම මන් දිහා බලන් ඉන්නේ මන් ඊලඟට කියන දේ මොකක් වුනත් ඒක නොකියා ඉන්න කියලා ඉඟියක් දෙන ගමන්..
"බැඳීම් වලට ලේබල් දෙන්න කව්ද උඹට අයිතිය දුන්නේ.."
ඒ සීතල කටහඬින් මාව හිරි වැටිලා ගියේ ඇයි කියන්න මං දන්නේ නෑ.. ඒ බයක්ද.. නැත්තන් මේ දැනෙන හැඟිමට නමක් තියෙනවද...
"සීනු.. මට.. මට ඔයාට දෙයක්.. කියන්න තියෙනවා.."
ඇඳේ දෙපැත්තෙන් තවමත් අත් තියාගෙනම සීනු මගේ ඉස්සරහට පාත් වුනේ මන් කියන දේ දැනගන්න ලොකු හදිස්සියක් තියෙනවා වගේ.. එහෙමත් නැත්තන් කියන්න යන දේ නවත්තන්න වගේ.. ඒක දන්නෙ සීනුම තමයි..
"ශ්ශ්ශ්ශ්!!!.. උඹ කලබලයි.. හුස්මක් ගන්න.. වචන.. දන්නවද ඒවා හරි බලවත්.. කටින් පිටවුනොත් ආපහු හරවන්න බෑ... හ්ම්, ඉතින් උඹ කියනවද..."
ඒ තියුණු ඇස් මාව එක තැනම ගල් කරලා.. මටම මගේ හුස්ම නෑසෙන තරමට මාව හිර වෙලා.. ඒත් පිස්සු නටන මගේ හිත කියන්නේම මේක තමා එකම අවස්තාව.. ඔව්, මන් එයාට ඒක අද කියන්නම ඕනේ!!
"වචන නැද්ද යුහස්වී.. මොනාද උබේ මේ පුංචි මොලේ ඇතුලේ වැඩ කරන්නේ.. කියන්න බය නම් අත ඇරලා දාපන්.."
"නෑ.. මං බය නෑ.. ඒත්.. ඒක කිව්වට පස්සේ වෙන දේවල් වලට මං බයයි.."
එයා හිනා වෙනවා.. ඒත් ඒ හිනාව මාව අඩපණ කරනවා.. ඒ හිනාවෙන් කියවෙන්නේ පුලුවන් නම් කියලා පෙන්නපන්, මාත් දැනගන්න කැමතියි වගේ.. මන් ඔයාව කියෙව්වා හරි නේද සීනු..
එයාගේ හුස්ම මගේ කන් ඇතුලේ රැදෙන තරමටම එයා ලං වෙලා.. මට නොපෙනුනත් එයාගේ ඒ හිනාව තාම රැඳිලා තියෙනවා කියන්න ඒ හුස්ම වැටෙන රටාවම සාක්ෂියක්..
"Say it loud යුහස්වී.. I'm Waiting.."
ඒ වචන එක්කම මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියේ තද සීතලකින් මාව වෙලා ගද්දි.. වහිනවා.. කාමරේ ඇතුලේ තියෙන නිහඬබව වගේම අපේ හුස්ම වැටෙන සද්දේට අමතරව මට ඇහෙන්නෙ වැස්සේ සද්දය.. ඔව් මේක තමයි හරිම වෙලාව..
"සීනු.. මං හිතන්නේ.. මං..ඔයාට.. මට කියන්න ඕන වුනේ.. ප්ලිස්.. මං කියන දේ.. ඔයා අහන් නේද ඉන්නේ.."
"යුහස්වී.. Last chance.."
සීතල මුහුදු පත්ල මතක් කරවන කටහඬින් සීනු මට දුන්නේ අවසාන සිහි කැඳවීම..
"සීනු... මං ඔයාට ආදරෙයි...!!!"
මුළු කාමරෙම එළිය කරන් අකුණු සැරයක් අහසින් හෙලුනේ මගේ කන්දෙකම අඟුළු වට්ටන්.. ඉතින් මගේ ලෝකේ නිහඬ වුනා.. වැස්සේ සද්දේවත්.. අකුණු හඬවත්.. ඔයාගේ හුස්ම වැටෙන සද්දේත් දැන් මට දුරයි සීනු...
"හහ්හහ් හා හා.. ආදරේ..!! උඹ.. මට...! හොඳටම විශ්වාසද මේ කිව්ව වචන ගැන.. ආපහු උඹට ඕන වුනත් දැන් ඒ වචන ගන්න බෑ..."
"සීනු.. මං..."
"ශ්ශ්ශ්... ශ්ශ්.. උඹට කතා කරන්න දුන්න වෙලාව දැන් ඉවරයි.. දැන් අහන් ඉන්න වෙලාව.. මං සාධාරණයි නේද.."
වචන.. ඔව් ඒවා ඇත්තටම බලවත්.. මගේ තොල්පෙති වෙව්ලන්නේ සීතලටද නැත්තන් වචන පිට වෙන්න දීපු වැරැද්ද නිවැරදි කරගන්න බැරි වුනකමටද කියලා මට හිතාගන්න බැරිවුනා.. දැන් මට ඕන වුනත් මේ දෙතොල් වලින් වචන පිට කරන්න තහනම්...
"උඹේ මේ හයිය මං අගය කරනවා යුහස්වී.. උබේ මේ පුංචි හිත කෑලි කරන්න තරම් මං මෘගයෙක් නෙමෙයි.. ඒත් උඹ කලේ මං ඇඳපු හැම සීමාවක්ම දැක්කේ නැති අන්ධයෙක් වගේ ඒවා පහු කරන් ආව ඒක.. ඉතින් ඒක වැරැද්දක් නේද..."
සීමා.. මට කොහොමද ඒවා අමතක වුනේ.. සීනු කවමදාවත් යාලුකමයි ආදරයයි පටල ගන්නේ නෑ.. මං කොහොමද හැඟිම් වලට වහල් වෙලා මගේ හිත හැමදේම වචන කලේ.. මං කලේ වැරැද්දක්... හදන්න බැරි වැරැද්දක්...
"ඉතින් කියපන් යුහස්වී.. අපි දැන් කව්ද.. උඹ අපේ යාලුකම කිලුටු කළා.. ආදරයක් මැද්දට අරන් ආවා.. දැන් ඉතින් අපි යාලුවෝද..."
"සීනු මට සමාවෙන්න.. මං එහෙම දෙයක් අදහස් කළේ නෑ.. සීනු.. මේක වැරදීමක්.."
"පරක්කු වැඩි.. අහන්න ඕනද ඉතින් මගේ උත්තරේ.."
"නෑ.. මට ඔනේ නෑ.. මට අහන්න ඕනේ නෑ."
මන් මගේ සවන් අත් දෙකෙන්ම තද කරලා වහගත්තේ ඒ පිළිතුරු බැඳිල්ල ගැන කලින් ඉඳන්ම හිත ඉඟි කරද්දි..
"කටින් පිට කරන්න උබට හයියක් තිබ්බානම්, අහන් ඉන්නත් ඒ හයිය ගනින්.. හොඳට අහගනින් මේක වෙන්නේ නෑ.. උඹයි මමයි.. කවදාවත් නෑ.."
ඉතින් කවදාහරිම උත්තර දැනගෙනම ප්‍රශ්න අහලා තියෙනවද.. ඔව් මන් කළා.. මේ උත්තරේ මේ වගේම මං බලාපොරොත්තු වුනා.. ඒත් දැනන් හිටියානම් ඇයි මට දැනෙන්නේ මහ මුහුද මැද මං තති වෙලා කියලා.. ඇයි මං තවම පාර කියන්න කණාමැදිරි එළියක් හරි එනකන් බලන් ඉන්නේ...
"මට උඹ එක්ක ආපහු යාලුවෙක් වගේවත් ඉන්න ඕනේ නෑ.. උඹ මගේ සීමා කඩපු තැනම මට උඹ පිට කෙනෙක් වුනා..."
ඇයි හැමදාම ඇස් තෙත් කරන කඳුළවත් අද එන්නේ නැත්තේ එයාලත් මාව තනි කරලද.. මට පපුව අල්ලන් කෑගහලා අඬන්න ඕනේ.. ඒත් ඇයි මාව එක තැනම හිර වෙලා.. මගේ ජිවිතේ මෙතන ඉඳන් එකම තැන නැවතිලා..
"යුහස්වී.. උඹයි මායි ආව දුර මෙතනින් ඉවරයි.."
"සීනු....!!!"
සීනු.. ඔයා කොහෙද සීනු.. මට ඇයි ඔයාව පෙන්නෙ නැත්තෙ.. මගේ අත ඉබේම ගිහින් නැවතුනේ හැල්මේ දුවන මගේ හදවත ගාව.. කන දෙපැත්තෙන් ගලන දාඩිය බිංදු සීතලට දැනුනේ එලියෙන් වැටෙන වැස්සෙන් එන සීතලත් පරදවලා..
ඔව් වහිනවා.. අකුණු මැද්දෑවෙන් අහස කඳුළු හෙලනවා.. ජනෙලයෙන් එහා වැටෙන වැස්ස දිහා මං බලන් හිටියේ මං මේ කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරි මොහොතක අතරමං වෙද්දි.
ඔව් මං හීනයක් දැක්කා. ඇස් වහගෙන.. මං දැක්කා හැබෑ නොවන හීනයක්..
ගැහෙන හදවත සංසුන් කරගන්න කොච්චර උත්සහ කලත් මට දැනුනේම හදවත් මිරිකන් යන වේදනාවක්... මං මොනවද ඒ හීනෙන් සීනුට කිව්වේ... මගේ හිතේ කොහෙ හැංගුන හැඟිමක්ද ඒ වචන වුනේ.. ඉතින් හීනෙන් හරි මං දැක්කේ යථාර්තයම නෙමෙයිද..
දස අතේ යන සිතුවිලි එක්තැන් කරගන්න මට මතක් වුනේ එකම විදියයි..
අතහැරී ගිය එකම හීනෙක
තතු සොයන්නට හිත බයයි...
අහස කලුකර වැටෙන වැහි කැට
නුඹ නොඑන බව මට කියයි
මතක රිද්දන මියුණු ප්‍රේමය
යළි යළිත් හිත නුඹ සොයයි...
හසිඳු භානුකගේ ස්වර ගැලපිලි මගේ හිතේ හැම තතක් එක්කම එකට ගැටෙද්දි, පොඩි අයියාගේ වචන මගේ මතකයට ආවා...
හීන, ඔව් ඒවා ලස්සනයි.. ඒත් ඒවා හීනම විතරයි. දැන් හීනෙන් ඇහරෙන්න වෙලාව ආවා.
ඉතින් හිතවත හිත හැදෙන්නට
ත(ව)නිවෙන්නට අවසරයි...!
ඉතින් සීනු මේ හීනෙන් ඇහරිලා හිත හැදෙන්න, තනි වෙලා නිවෙන්න මට අවසර දෙනවද..??
කොච්චර උත්සහ කලත් හිත එකතැන් කරගන්න බැරි වෙද්දි මන් ඇඳෙන් බැහලා කුස්සිය දිහාට ඇවිදන් ගියේ මහ රෑ වැස්ස නොබලා ice cream එකකින් ගිනිගන්න පපුව නිවාගන්න...
"චූටි.. මොකද මේ මහ රෑ ඇහරන්.. ඇයි මහසෝනා එනවා කිව්වද හඳ පානේ තමුසේ එක්ක පැනලා යන්න"
"අහ්හ් බය කරන්න එපා මනුස්සයෝ රිරීයකෙක් වගේ කලුවරේ ඉඳන් කෑගහලා.. මහසෝනා බැරිනම් මෝහිණිගේ බබාට මං කුඩම්මා වෙන්න ගියත් තමුසෙට මොකද.."
හිත සන්සුන් කොහොම වුනත් නොසන්සුන්කම වැඩි කරන්න හරිම මනුස්සයා වුන පොඩීව මට හම්බුනේ මහ රෑ වැස්සත් නොබලා netflix එකේ සීරියස් එකක් බලන ගමන් ඉද්දි..
"පොඩී..!! ඔය මන් ඊයේ ගෙනාව අයිස් ක්‍රීම් එක නේද මිනිහෝ ඔය හොඳට තියාගෙන කන්නේ.. අහ්හ්.. වෙන ගෙවල් වල අයියලා නංගීලාට සලකන්නේ කුමාරිකාවන්ට වගේ.. ඒකට මගේ අයියා.. ඔයා නම් මහ පිං බතෙක්ම තමා..."
"චූටි මේ උබට කුමාරිකාවක්ට වගේ සලකන්න අර මහ රැජිණ ඉන්නේ.. කොහෙද අනිත් එක මේ ටබ් එකේ තමුසෙගේ කියලා නම ගහලා තියෙන්නේ... හැන්දක් අරන් එනවා ඕනේනම්.."
මේකාට කියලා වැඩක් නෑ.. මන් එයාගාවින්ම සෝෆා එකෙන් වාඩි වුනේ තනියම කාමරේ ඉද්දි දැනෙන අහේතුක බයට වඩා මෙතන සැනසීමක් ගේන නිසා..
"මොකො චූටි ඇත්තටම ඇහරුනේ.. තමුසේ නිදාගත්තාම ගේ ගිනි ගත්තත් ඇහරවගන්න බෑනේ.."
"හ්ම්ම්.. මං හීනයක් දැක්කා.. ඒ හීනෙන් ඇහරෙන්නම වුනා"
කොච්චර රණ්ඩු කරගත්තත් පොඩී කියන්නෙ මගේ හිත ඕනම වෙලාවක දිග ඇරලා පෙන්නන්න පුලුවන් කෙනෙක්.. ඒත් අද එයා ගාවත් මාව ගොළු වුනා..
"හ්ම්ම්.. ඒවා හීන විතරයි චූටි.. හීනෙන් නැගිට්ටාම අපිට හරිම ලේසි ඇත්ත, ඇත්ත විදියට දකින්න.."
"ඒ හීනේ ඇත්තම වගේනම්.. මට ආපහු හීන දකින්න බය හිතෙනවනේ පොඩී.. මට බයයි.. මං මොකද කරන්නේ.."
පොඩීගේ අතක් මාව හයියෙන් උරහිසෙන් වැළඳගත්තේ, මොන හීනෙකින් මන් ඇහරුනත් හයියෙන් අල්ලගන්න ඉන්නවා කියන්න වගේ..
"අලුත් හීනයක් දකින්න මගේ චුටි නංගීයෝ, ඇයි එකම හීනෙ එල්ලීලා.. හොඳට ඇස් ඇරලා බලන්න ඔයා අලුත් හීනයක් හොයාගනී..."
ඉතින් පොඩි කියනවා වගේ මං දැකපු මගේ හීනේට හිතින් යන්න දීලා අලුත් හීනයක් දකින්න වෙලාව ඇවිත්ද..
-
-
-
අලුත් උදෑසනක්.. අලුත් දවසක්.. කාලයක් තිස්සේ දැකපු හීනෙකට නිමාවක්.. ඊයේ සීනුගේ ගෙදරින් මං ආවේ එයාගේ හොඳම යාලුවා විදියට ඒ භුමිකාවට සාධාරණයක් කරන්න පොරොන්දු දීලා.. හීනෙක හැංගුන පෙරනිමිත්තක් මට බැඳිමකට නමක් දෙන්න හේතු වුනා...
🎵
Friends, just for now
Yeah, but friends don't say words that
Make friends feel like
More than just
Friends, Just for now
Now, I'm over pretending
So let's put the "end" in
Freinds
🎵
කනට හැමදාමත් හුරු ringingtone එකත් එක්කම කොට්ටේ අස්සේ තිබ්බ ෆොන් එක නාද වුනේ ගන්නත් කලින්ම ඒ කව්ද කියලා මට අඟවලා..
"Good Morning සීනූ.. හොඳට නිදාගත්තද ඔයා.."
"Very Good Morning මගේ මැට්ටියේ.. කෝ තාම උඹ දොයිද.. නැගිටපන්කෝ වදේ.."
සීමාව අතර මහ මුහුදේ රැළි අද නිසොල්මන්..
"ඇහරුනා විතරයි සීනු.. ඇයි මේ අද නිවාඩු දවසේ උදේම ඇහරිලා.."
"ආච්චම්මා නෑ.. පොඩි යක් පැටියාත් ඌගේ ගෙදර ගිහින් කම්මැලි බන්.. උබලාගේ ගෙවල් පැත්තේ එන්න බැලුවේ..
ඔව්.. ඒ ඉන්නෙ මන් අවුරුදු ගානක් තිස්සේ දන්න සීනු.. වෙනදට වගේ කෑගහලා එයා එන එක සමරන්න නොහිතුනේ ඇයි කියලා මට පුදුම හිතුනත් මන් වෙනසක් නොපෙන්වා කතා කලේ දුරකථනය කියන අරුම පුදුම මැජික් භාණ්ඩෙන් අපිට අපේ හිත ලස්සනට හංගන්න පුලුවන් නිසා...
"අනෙහ් එන්න සීනු ඉතින්.. පොඩී කොහොමත් ගෙදර අද.. ඔයාට එයා එක්ක ගේම් එකක් ගහන්න පුලුවන්.."
"ඒ පිංබතා ගෙදර ඉන්නේ නැතුව කොහෙ ඉන්නද.. මන් එන්නේ නම් ඌ නිසා නෙමෙයි.. උඹ කාලෙකින් මට මොනවත් හදලා දුන්නේ නෑනේ.. මට brownies හදලා දීපන්කෝ... හා ද??."
පොඩි එකෙක් වගේ මේ හුරතල් වෙන්නේ සීනුමද කියලා හිතෙන්නත් පුලුවන්.. ඔව් ඒත් මේ සීනුමයි.. මගේ හිත උනුසුම් කරන සීනු..
"මං කාලෙකින් හැදුවේ නැති නිසා ගෙදර බඩුත් නෑනේ සීනු.. ඔයාට වෙන මොනාහරි හදලා දෙන්නද.."
"බෑ බෑ මට ඕනේ උබේ අතින්ම හදපු brownies.. උබට බැරිනම් කෙලින් කියපන් වටේ යන්නෙ නැතුව.. හා ද බෑ ද??..."
හැමදාම වගේ මගේ ලඟ එයාට දෙන්න නෑ බෑ වචන තිබුන් නෑ...
"හරි ඔයා එන්නකෝ සීනු.. මන් ඔයාට අනිවාර්යයෙන්ම හදලා දෙන්නම්.."
"හ්ම්ම් That's My Good Girl, මන් එක්කම යන් ඕන දේවල් ගන්න කීල්ස් එකට.. ඉක්මනට ලෑස්ති වෙන්න"
ඉතින් මන් සීනුගේ Good girl ද? ඇයි ඒ වචන මගේ මූණට හිනාවක් අරන් ආවේ. කවදා ඉඳන්ද මං එයාගේ ඒ වචන වලට හීලෑ වුනේ..
"හරි.. මං බලන් ඉන්නවා."
'බුදු සරණයි සීනු' ඒ වචන මං හැමදාම වගේ හිතින් මිමිණුවේ සීනුට ඒ වචන, වචන විතරක්ම වුන නිසා..
ඇමතුම ඉවර වෙන සැනින් සොනික් වැහිලා වගේ මං ඉක්මනට ලෑස්ති වුනේ කීල්ස් එකට යන්න කවදාවත් නැති උනන්දුවකින්..
පුරුදු බයික් හඬට මන් එලියට දුවන් යද්දි සීනු එයාගේ අනිත් හෙල්මට් එකත් අතේ තියන් බලන් හිටියේ ඇස්වල අමුතුම දිස්නයක් එක්ක..
"උඹ ඉක්මනට ලෑස්ති වෙලානේ.. නෑවද.. මේ කොන්ඩේ තාම වේලිලාත් නෑනේ.. පොඩි එකෙක් වගේ උබත් වෙලාවකට.."
මාව ලඟට අරන් කොන්ඩෙත් අතින් හදන ගමන් සීනු හෙල්මට් එක මගේ ඔලුවට දැම්මේ වෙනදාට වඩා දොඩමලු වෙද්දි.. එයාගේ ඇඟිලි තුඩු මගේ කෙහෙ රැලි එක්ක සෙල්ලම් කලේ මට අමුතුම කිතියක් දැනෙද්දි..
"dryer එක පොඩී අරන් කොහෙ දාලාද දන්නෙ නෑ සීනු.. මේක සුලඟට ඉක්මනට වේලෙයි.. ඔයා අද හරි වෙනස්.."
"අහ්හ් ඒ පිස්සු පුතා.. ඌ ගැන මන් ඇවිත් බලාගන්නම්කෝ.. මගේ මොන වෙනසක්ද බන්.. මන් වෙනදා වගේමයි කෝ එන්න යන් ඉතින්.."
හෙල්මට් එකේ බකල් එක තද කරලා මගේ නහයටත් තට්ටුවක් දාන් මන් බයික් එකට නඟිනකන් ඉඳලා පුරුදු වේගයෙන්ම ඇඳුනේ අපේ ගේවල් කිට්ටුවම තියෙන කීල්ස් එකට.."
" මේ බටර් එක ගමු මන් කන්නෙ මෙ ජාතිය විතරයි."
ඔලිව් බටර් එකකුත් අතේ තියන් සීනු පොඩි එකෙක් වගේ ඒකම ඉල්ලලා මැසිවිලි කියන්න ගත්තේ මගේ මුවඟට නිකන්ම හිනාවක් ගේන ගමන්.. මේ මන් සීනුව දකින්න ආසම විදිය..
"සීනු.. ඔලිව් බටර් දාලා brownies හදන්නෙ බෑනේ.. හරිම රහ ගන්න හරිම දේවල් දාන්න ඕනේ.. කෝ හොඳ ලමයා වගේ ඕක තියලා එන්නකෝ ඉතින්.."
"උඹ එක්ක බෑ.. ඉඳපන් මේ රෙසිපි එකේ තියෙන්නේ පාන් පිටි 250g කියලානේ.. කිලෝ එකේ පැකට්ස් විතරනේ මෙතන තියෙන්නේ.. මට හරියටම 250g එකක් ඕනේ..."
හයියෙන් පනින්න ආව හිනාව මන් නවත්තගත්තේ මේ ගිනි බොම්බේ දැන් නිශ්ක්‍රීය උනාට කොයි වෙලේ ඇවිලෙයිද දන්නේ නැති නිසා.. සීනුට පේන්න බෑ උයද්දි කිරලා මැනලා වැඩ කරන එක. එයාට ඕනේ පැකට් එකෙක් පෑන් එකට..
"අන්න අතනින් අපිට ඕන ගාන මැනලාම ගන්න පුලුවන් සීනු.. ඔයා ඉන්න මන් අරන් එන්නම්... එතකන් ඔයා ආස දෙයක් අරගන්නකෝ බලලා..."
පොඩි එකෙක් එක්ක ආවට හපන් සීනු එක්ක ආවම, එයාව එතන තියලා මන් කිරලා ගන්න තැනට ගියේ පාන් පිටි 250g විතරක් ඉල්ලලා ගන්න ලැජ්ජාවට.. ඒක හරිම පොඩි ප්‍රමාණයක්.. එද්දී මන් දැක්ක දෙයින් මන් කාට් එකත් අල්ලන් බලන් හිටියේ එතනට යන්න ඕන කමක් නැති වෙද්දි..
"අයියෝ.. කෝ එහාට වෙන්නකෝ නංගී බබා, මන් ඕක අරන් දෙන්නම්.. තව මොනාහරි අරන් ඕනේද ඔයාට.."
ඔව් ඒ සීනු.. ඕනම කෙනෙක් වශී වෙන එයාගේ සිග්නේචර් හිනාවත් එක්ක ඒ කතා කර කර හිටියේ අපේ අල්ලපු ගෙදර කෙල්ල එක්ක..
"හනේඒඒ සීනු අක්කී ඔයා මාරම උසයිනේ.. මන් ආසයි ඔයාගේ උසට.. මට අර බිස්කට් එකත් අරන් දෙන්නකෝඕ!!"
අහලා තියෙන කැතම දොන්ත වොයිස් එකේන් ඒ කෙල්ල සීනු ගාව හුරතල් වුනේ මේ දැන් මල්වර වුන ලමිස්සියෙක් වගේ.. කෙල්ලගේ කන් දෙකේ ඉඳන් රතු වෙලා.. ඇස් දෙකත් ටීක් බෝල කරන් සීනු දිහා බලන් ඉන්නේ වශියක් කාලා වගේ...
"Anything for you princess, ඉතින් තනියමද ආවේ.. ඔයාගේ චූටි අත් වලින් පුලුවන්ද මේවා උස්සන් යන්න..
හිතට දැනෙන ආවේගය පාලනය කරගන්න මන් ඇස් දෙක තදින් වහ ගත්තේ එතකොටවත් මේ අහේතුක කේන්තිය නැති වෙයිද බලන්න.. ඇස් ඇරන් ඉන්න ඕන හැමතැනකම වගේ මන් ඇස් වහන් හිටියා.
"මොකද බන් මේ මූණ එල්ලන්.. උඹ වෙනදාට ඔහොම නෑනේ.. මන් ඒ කෙල්ල එක්ක විහිලුවක්නේ කලේ.. ඕක මහ දෙයක් නෙමෙයිනේ බන්.."
බඩු ටික මගේ අතින් අරන් බයික් හැන්ඩ්ල් එකේ එල්ලලා සීනු මගේ මුණට එබිලා ඇහුවේ මාව එයාගේ ප්‍රශ්න වලට නිරුත්තර කරලා..
"පුංචී නෝනා.. කියපන්කෝ මොකෝ මේ.. උඹට වැරදිලා හරි ඉරිසියාවක් ඇවිල්ලද.. මන් හරිද.."
එයාගේ වචන එක්ක මන් මගේන්ම ඒ ප්‍රශ්න ඇහුවේ කීයටවත් ඒකට එයාට ඕන උත්තරේ නොදෙන්න හිතාගෙනමයි
"මන් ඇයි කොහෙවත් ඉන්න කෙල්ලෙක් එක්ක ඉරිසියා වෙන්නේ.. අනික එහෙම වෙන්න හේතුවක් නෑනේ.."
"හේතුවක්... විශ්වාසද හේතුවක් නෑ කියලා.. මන් හේතුවක් දෙන්නද නැත්තන්.."
සීනුගෙ අමුතුම හිනාව එක්ක හැමදාම වගේ හිස් වෙලා තිබුනු ඇස් අද අමුතුම දිස්නෙකින් දැල්වුනේ මාව අවුස්සලා එයා ලොකු විනෝදයක් ලබද්දි..
"ඔයා මොනවද මේ කියන්නේ කියලා මං දන්නේ නෑ..
අද ඔයයි විකාර කියවන්නෙ සීනු.."
"හ්ම්ම් විකාර, මටත් මුලින් ඒක දැක්කාම විකාරයක් වගේ දැනුනා.. ඒත් උඹ මෙහෙම කේන්තියෙන් පුපුරද්දි.. මගේ ඉස්සරහා වචන ගැටගහද්දි මට හිතෙනවා මං හරිද කියලා..."
ඇයි මට කිසිම හොඳක් දැනෙන්නෙ නැත්තේ මේ වෙන කතාබහ ගැන.. මට ඕන වුනේ මේ කතාව ඉක්මනට ඉවර කරන්න..
"අහකට යන්න සීනු, පරක්කු වෙනවා.. වැඩකට නැති කතාවල් නවත්තලා යන්කෝ..."
"මොකො මේ හදිස්සි මගේ පුංචි නෝනට.. මේක බලලාම ඉන්නකෝ මුලින්.."
සීනු එයාගේ දඟකාර හිනාවත් එක්කම මගේ අතට දුන්නේ පොඩි වුන කොළයක්.. මගේ ඇස් දෙක ලොකු වුනේ ඒ කොලේ අඳුරගන්න මට අමාරුවක් නොවෙද්දි..
"මේක..! මේක ඔයාගේ අතට ආවේ කොහෙන්ද.."
"ඕක මගේ කාමරේ බිම වැටිලා තිබිලා මට හම්බුනේ.. විසික් කරන්න හදලත් උඹේ අකුරු නිසාම මන් ඕක බැලුවේ... ඉතින් කියපන්කෝ දැන් හේතුවක් හම්බුනාද.."
වෙව්ලන ඇඟිලි පාලනේ කරන් පොඩි වුන කොලේ මන් හෙමින් දිග ඇරියේ මගේ අතින් ලියවුන මුල්ම කවිය මගේ ඇස් ඉස්සරහට ආපහු දිස්මාන වෙද්දි..
"ඉතින් කාටද උඹ ඕක ලිව්වේ.. මිතුරුකම්.. ආදරය.. සීමා වගේම බලාපොරොත්තු.. උඹට කවුරු හරි ගැන ආදරයක් ඇති වෙලාද.."
ඒ ඇස් වලින් මගේ ඇස් කියවන ගමන් සීනු ඒක ඇහුවේ අඩියක් මගේ ලඟට තියන ගමන්.. නෑ මේක වෙන්න දෙන්න බෑ..
"ඒක නිකන්ම නිකන් කවියක් සීනු.. මන් කාට ආදරේ කරන්නද අනික.."
"බොරු.. උබ කවිකාරියෙක් කවි පද නොබැන්ඳ.. කාටද මේක ලිව්වේ කියපන්කෝ ඉතින්.. ඇයි මේ මගෙන් හන්ගන්නේ.. බැරි වෙලාවත් ඒ මමද..."
මන් ඒ වචන එක්කම සීනුගේ ඇස් දිහා කෙලින් බැලුවේ මගේ ඇස් එයාගෙන් හංගන එකත් අමතක කරලා.. සීනු ඔයා මාව අසරණ කරනවා..
"කියන් නැද්ද ඉතින්.. උඹ වචන නොකරනකම් මන් දැනගන්නෙ කොහොමද.. කියපන්කෝ.. උබේ හිත මට ආදරේ කරන්න අරන්ද..?"
මේ දේ අවසාන වෙන්නෙ කොහොමද කියලා මං දැක්කා.. මන් ආපහු හීන අහුලන්න බයයි.. හීන මාව බය කරනවා.. ඔයා මගේ ලඟින් ඉන්නවානම් මට ඒ ඇති සීනු.. මට බෑ ඔයාව නැති කරගන්න.. මන් කවදාවත් දැකපු හීනේ සැබෑ වෙන්න දෙන්නෙ නෑ..
"සීනු අපි හොඳම යාලුවෝ.. අපි යාලුවො විතරයි.. ඔයාට වැරදිලා.. ඔයා මට හොඳ යාලුවෙක් විතරයි.."
ලොකු බර හුස්මක් හෙලන ගමන් මන් හිත වහන් කරන වචන ගැටගැහුවේ මන් කියවපු පොතක තිබුන වචන මතක් කරගන්න ගමන්... බය, ආදරේට වඩා හයියයි...
සීනුගෙ ඇස් හිස් වුනේ කුනාටුවකට කලින් මුහුද නිශ්චල වෙන වේගේන්මයි..
"හ්ම්ම්.. ඔව්නේ.. අපි හොඳම යාලුවෝ.. උඹ හොඳ වෙලාවට මතක් කලේ.. මට අමතක වුනත් උබ
අමතක කරන්න එපා.."
අද හිත රිදුනේ කාගේද කව්ද හිත රිද්දුවේ කියලා මටවත් හිතාගන්න බැරි වෙද්දි මන් එයා ඉස්සරහ මගේ හිත යතුරු දැම්මේ හීන ලෝකෙට සමු දෙන ගමන්..
ඉතින් සීනු නමක් නැති අපේ බැඳිමට මන් දීපු නමත් "යාළුකම"
ගඟක් වී ආ දුර
ඉතින් මෙතෙකින් නිමි
වැවක් වී නවතිමි
මල් පිපුනත් නැතත් පවතිමි.
( At Least We Met)
-
-
-